කොස් අත්තක් කැපීමට ගසට නැඟි 14 වියැති පාසල් සිසුවකු විදුලි සර වැදී මියගොස් ඇතැයි හූරිගස්වැව පොලීසිය පවසයි.
මෙසේ විදුලි සර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර තඹුත්තේගම හූරිගස්වැව සුදර්ශනගම පදිංචි වයි.ජී. චලක්ෂණ ඉදුසර විජේරත්න නමැති සිසුවා බවද පොලීසිය කියයි.
තම ගෙවත්තේ තිබූ කොස් ගසක අත්තක් කැපීමට ඊයේ (21) ගසට නැඟ ඇති මෙම සිසුවා අත්ත කපමින් සිටියදී ඊට ආසන්නයේ තිබූ විදුලි කණුවක රැහැනකට එම ගස වැටීමෙන් විදුලි සර වැදී ඇතැයි පැවසේ.
විදුලි සරෙන් ගසේ අත්තද පිලිස්සී ගොස් ඇති අතර මෙම දරුවා ගසින් බිමට වැටී ඇති බවද පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හූරිගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මෘත ශරීරය තඹුත්තේගම මූලික රෝහලේ තබා ඇත.
තඹුත්තේගම – සී. එම්. ආරියපාල