Home » එජාප සජබ මූලික වී විපක්ෂ පෙරමුණක් හදනවා

එජාප සජබ මූලික වී විපක්ෂ පෙරමුණක් හදනවා

-හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

by sachintha
January 22, 2025 2:48 am 0 comment

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ අනෙකුත් විපක්ෂ කණ්ඩායම් එක් කර පෙරමුණක් සෑදීමේ මූලික සාකච්ඡා ආරම්භ වී ඇතැයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (21) මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

“සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය සිදු කරනවා. පොදු බලවේගයක් ලෙස විපක්ෂ කණ්ඩායම් එක් කර ඉදිරි මැතිවරණවල දී රජයට එරෙහිව තරග කිරීම අරමුණයි. පසුගියදා පැවති සමුපකාර ඡන්දයේ දී සියලු වාද භේද අමතක කර අප එක් වුණා. එම ඡන්ද සියල්ලෙන්ම අප ජයග්‍රහණය කළා. මෙය හොඳ සංඥාවක්. ඉතිරි සමුපකාර ඡන්දවලටත් අප එක්ව තරග කරනවා.

විපක්ෂය එක්ව සාදන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වන ලකුණ සහ නම සාකච්ඡාවල දී තීරණය කරනවා. පසුගිය මහමැතිවරණයට සිලින්ඩරය ලකුණින් තරග කළ පොදු ජන පෙරමුණේ පිරිස් සමඟ ද සාකච්ඡා පවත්වනවා.

වැඩිය කෙඳිරි ගාන්න ආවොත් තවත් වරප්‍රසාද අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණා. සියල්ලටම පෙර බඩු මිල අඩු කළ යුතුයි. මිනිසුන්ගේ අමාරුකම්වලට පිළිතුරු නොදී අනෙක් අයගේ කෙඳිරිය වැඩි කරලා වැඩක් නැහැ. එහෙම ජයග්‍රහණය කළ නායකයෝ නැහැ. එදා විජය කුමාරතුංග මහතා පැවසුවේ ඔහුට චොපර් එකක් දෙනවා නම් එයත් ගන්නා බවයි. එවිට දිනකට රැස්වීම් වැඩි ගණනකට යා හැකි බව ඔහු පැවසුවා. වැඩ කිරීමට පහසුකම් අවශ්‍යයි.

මන්ත්‍රීවරුන්ගේ දූෂණ වංචා නැති කිරීමට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට විශාල ලෙස වරප්‍රසාද දුන්නා. ලෝකයේ වැඩිම වේතනයක් ලැබූ අගමැතිවරයා ලී ක්වාන් යූයි. සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් ද විශාල වේතන ලැබුවා. සිංගප්පූරුව ගොඩනැඟුවේ එහෙමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට ප්‍රභාකරන්ගෙන් නිදහස් කර ගත්තා. ඔහුගේ වෙන වැරදි තිබුණත් ඒ දේ අමතක කරන්න බැහැ. ඔහුට නිල නි‍ෙවසෙන් ඉවත් වෙන්න පැවසීම වැරදියි.

රවි කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT