දිනක් වයසැති බිළිදෙකු නිවසේ ළිදකට දමා කිළිනොච්චියට පලා යමින් සිටි කාන්තාවක් චාවාකච්චේරී පොලීසිය විසින් ඊයේ ( 21 ) අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ කයිතඩි ප්‍රදේශයේ නිවසක ළිදක් තුළ මළ සිරුරක් ඇති බව එය දුටු ගම්වාසීන් විසින් පළාතේ ග්‍රාම නිලධාරීවරයාට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු ඒ පිළිබදව පොලීසියට දැනුම් දී තිබේ.
පොලිස් කණ්ඩායමක් පැමිණ ළිද පරීක්ෂා කිරීමේදී මියගිය බිළිදාගේ මළ සිරුර හමු වී ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් චාවාකච්චේරී අධිකරණය දැණුවත් කොට තිබේ.
චාවාකච්චේරී මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිදු කළ ස්ථානීය මරණ පරීක්ෂණයෙන් පසුව බිළිදා ප්‍රසූත කළ මව අත් අඩංගුවට ගන්නා ලෙසත් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් පොලීසියට නියෝග කොට තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය බිළිදා ප්‍රසූත කළ කාන්තාව සෙවීමේදී ඇය යාපනයේ සිට බස් රථයකින් කිළිනොච්චිය බලා යමින් සිටියදී ඇයව අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.
මෙම සිද්ධියේදී අදාළ කාන්තාවගේ මව සහ සහෝදරියද අත්අඩංගුවට ගෙන ඝාතනයට සහාය ලබාදෙන්නට ඇතැයි යන සැකය මත පරීක්ෂණ පවත්වා ගෙන යයි.
බිළිදාගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ බිළිදා ජලය පෙවීම නිසා ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මියගොස් ඇති බවයි.
කාන්තාව පෙබරවාරී මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස චාවාකච්චේරී මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
චාවාකච්චේරී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.