Sunday, April 20, 2025
Home » ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි
අමෙරිකාවේ ‘රන් යුගය’ උදාවුණා

ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි

-බයිඩ්න්ගේ නියෝග 80කුත් ආපසු හරවයි

by sachintha
January 22, 2025 1:09 am 0 comment

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් අගනුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ලේදී දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 4කට පසු නැවත ධවල මන්දිරයට යන 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාරම්භක දේශනයේදී හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය දූෂිත බව කියමින් ආක්‍රමණශීලීව අදහස් පළ කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සිය මැතිවරණ ජයග්‍රහණය බිහිසුණු පාවාදීමක් ආපසු හැරවීමට ලැබුණු ජනවරමක් බවත්, මේ මොහොතේ සිට අමෙරිකාවේ ස්වර්ණමය යුගය ආරම්භ වූ බවත් ඔහු සිය දේශනයේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බැරක් ඔමාමා සහ ලෝරා බුෂ්, හිටපු ජනාධිපති ආර්යාවන් වන මිචෙල් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් ඇතුළු දේශපාලන නායකයන් සහ ඉලෝන් මස්ක් වැනි කුවේරයන් ද, රටරටවල විදේශ ඇමැතිවරු සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමිපතමයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ එම උත්සවයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම සිදුවූයේ උපජනාධිපති ලෙස ජේඩී වැන්ස් දිවුරුම් දීමෙන් පසුව බව ද වාර්තා වේ.

වසර 2017 සිට 2021 දක්වා සිය පළමුධුර කාලයේ කටයුතු කළ ආකාරයට වඩා විශ්වසනීයත්වයෙන් යුතුව පෙනී සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ බාරගත් පළමු අවස්ථාවේදීම විධායක බලය භාවිත කරමින් සැලකිය යුතු තීන්දු තීරණ රැසක් ගත් බවද වාර්තා වේ. අමෙරිකාව මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන බවත්, නව බුද්ධිමය විප්ලවයක් ආරම්භ කරන බවත් සඳහන් කර ඇති නව ජනාධිපතිවරයා නව ව්‍යාපාර ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමට සහ අවිධිමත් සංක්‍රමණිකයන් මර්දනය කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කරන බවද සඳහන් කර තිබේ. ඉදිරි වසර 4ක කාලය තුළදී සිදු කිරිමට නියමිත සැලසුම් පිළිබඳ සමාලෝචනයක් සිදු කළ නව ජනාධිපතිවරයා හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන කාලයේ පනවා තිබූ විධායක නියෝග 80කට වැඩි ප්‍රමාණයක් ආපසු හැරවීමේ ලිපිවලට ද අත්සන් තැබූ බව වාර්තා වේ.

වසර 2020 ජනාධිපතිවරණය ජෝ බයිඩ්න් ජය ගැනීමෙන් පසු 2021 ජනවාරි 6 වැනිදා කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ල ආක්‍රමණය කරමින් කැරැලි ගැසීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සිය පාක්ෂිකයන් 1,600කට ආසන්න පිරිසක් ජනපති සමාව යටතේ නිදහස් කිරීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇති අතර,

මෙක්සිකෝව ආසන්නයේ පිහිටි දකුණුදිග දේශසීමාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම පළමු කාර්යය බව සඳහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ සියලු නීතිවිරෝධී ඇතුළුවීම් වහාම අත්හිටුවන බවය. අමෙරිකාවේ සිටින මිලියන ගණනාවක සංක්‍රමණික අපරාධකරුවන් නැවත පැමිණි රටටම පිටත් කර හරින බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එහි පියවරක් ලෙස දේශසීමාව වෙත හමුදාව යවන බවත්, අමෙරිකාවට එල්ල වූ විනාශකාරී ආක්‍රමණ මැඬපැවැත්වීමට වහා පියවර ගන්නා බවත් සඳහන් කර ඇති ජනාධිතිවරයා අමෙරිකාවේ දේශසීමා පුළුල් කරන බවට ප්‍රතිඥා දී තිබේ. එමෙන්ම අත්ලාන්තික් හා පැසිෆික් සාගර එකට යා කරමින් සියවසකට පෙර අමෙරිකාව විසින් ඉදි කරනු ලැබූ පැනමා ඇළ යළි අත්පත් කරගන්නා බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT