Home » කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කළ පත්තරකාරයා කේ. නඩේස අයියර්

කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කළ පත්තරකාරයා කේ. නඩේස අයියර්

by sachintha
January 22, 2025 1:37 am 0 comment

දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බ්‍රාහ්මණ වංශිකයකු වූ කේ. නඩේස අයියර් මහතා ලංකා වතු කම්කරු ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් තැබූ නායකයෙකි. මන්දයත් ශ්‍රී ලංකාවේ වතුකරයේ වෘත්තීය සමිති ඉතිහාසයේත් රැඩිකල්වාදී දේශපාලන කටයුතුවලදීත්, පුවත්පත් පළ කිරීමේදීත් වතුකරයේ දමිළ සාහිත්‍ය වර්ධනය උදෙසාත්, මෙන්ම අසරණ වතු කම්කරු ජනතාවගේ අයිතීන් දිනා ගැනීමටත් පුරෝගාමී මෙහෙවරක් කළ නිසාවෙනි.

1915 වසරේදී නඩේස අයියර් ලංකාවට පැමිණ මිත්‍ර සම්බන්ධකම් ගොඩනැඟීමෙහි හා තම “වර්තගමිත්තිරන්” පුවත්පතට ආධාර මුදල් එකතු කිරීමෙහි යෙදුණේය. එසේ ලංකාවට පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය ජනතාව වැඩි වශයෙන් පදිංචිව සිටි ප්‍රදේශවලටද ගියේය. එම ප්‍රදේශවල නගරවලටද යාමට ඔහුට හැකි වුවද වතුකරය තුළට පිවිසීමට නොහැකි විය. ඉංග්‍රීසි ජාතිකයන් වතුකරය පවත්වාගෙන ගියේ එළිමහන් සිරකඳවුරු ලෙසටය. ලංකාවට පැමිණ පදිංචිව ජීවත් වන දකුණු ඉන්දියානු ජනතාවගේ දීන වහල් ජීවිතය ඔහුගේ සිතට ආවේගයක් ඇති කළ අතර, අනතුරුව ඉන්දියාවට පෙරළා ගිය හෙතෙම තමාගේ පුවත්පත් කටයුතු තම සහායකවරයාට පවරා ආපසු ලංකාවට හැරුණේය.

1920 දී යළි ලංකාවට පැමිණි ඔහු “තේසනේසන්” (දේශහිතෛෂී) නමැති ද්‍රවිඩ පුවත්පතේ කර්තෘ ධුරයට පත්විය. 1921 වසරේදී ‘ද සිටිසන්’ (පුරවැසියා) නමින්ද ඉංග්‍රීසි පුවත්පතක් ආරම්භ කළ අතර, නඩේස අයියර් එහි ප්‍රකාශකයා විය. ද සිටිසන් පත්‍රය, තරුණ ලංකා සංගමය වැනි සටන්කාමී සංවිධානවලට ද සහයෝගය ලබා දුන්නේය. නඩේස අයියර්ගේ පත්‍ර කලාවේදී කටයුතු ඉන්දියාව සමඟ සම්බන්ධකම් තිබීමත්, බ්‍රිතාන්‍ය පාලනයට ප්‍රසිද්ධියේම විරුද්ධ වීමත් නිසා ලංකාණ්ඩුවේ පොලීසිය ඔහු පිළිබඳව නිරන්තර සෝදිසියෙන් සිටියේය.

නඩේස අයියර් කම්කරු කටයුතුවලට ප්‍රථම වරට සම්බන්ධ වූයේ ඉන්දියානු ජාතිකවාදියෙකු හා කොමියුනිස්ට් වාදියෙකු වූ බැරෝඩාහි ඩී.ඇම්. මනිලාල් සමඟ ඇතිකරගත් ආශ්‍රය තුළිනි. විශේෂයෙන් මනිලාල් ලංකාවේ ඉන්දීය වතු කම්කරුවන්ගේ ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අතර, ඉන්දීය කම්කරුවන් වෙනුවෙන් නැඟී සිටීමට ලංකාවේ ඇතැම් ඉන්දියානුවන් ධෛර්යමත් කිරීමටද සමත් විය.

1925 ඉන්දියානු ජනතාවගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත් වූ නඩේස අයියර් පසුව වතු කම්කරුවන්ගේ තත්ත්වය ගැන උනන්දු විය. ඒ අනුව වතු කම්කරුවන් සඳහා නිශ්චිත වැටුපක් වෙනුවෙන්ද ඔවුනට එරෙහිව කෙරෙන නොසලකා හැරීම් සහ වෙනස් ලෙස සැලකීම්වලටද එරෙහිව ව්‍යවස්ථාදායක සභාව තුළ හඬ නැඟුවේය.

1931 දී වතු කම්කරුවන් අතර වෘත්තීය සමිතියක් සංවිධානය කිරීම සඳහා ප්‍රථම ප්‍රයත්නය දැරූ නඩේස අයියර්, “සමස්ත ලංකා වතු කම්කරු සම්මේලනය” ආරම්භ කළේය. එහි ප්‍රධාන කාර්යාලය පිහිටියේ තේ වතු දිස්ත්‍රික්කය මැද වූ හැටන් නගරයෙහිය. වතු කම්කරුවන් අතර මහත් ආන්දෝලනයක් ඇතිවිය.

1936 දී හැටන් ආසනය නියෝජනය කළ නඩේස අයියර් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූයේ වතු කම්කරුවන් වැඩි බහුතරයකගේ කැමැත්ත ලබා ගනිමිනි.

සිංහල ජනතාවටද වතුකරයේ සේවය කිරීමට අවස්ථාවක් උදාකර දිය යුතු යැයි නඩේස අයියර් සඳහන් කළේය. අක්මීමන, අකුරැස්ස සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල නියෝජිත කාර්යාලයන් පිහිටුවා ඒ පිළිබඳව දැන්වීම්, අත් පත්‍රිකා ආදිය මුද්‍රණය කොට බෙදාහැරිය බව 1938 දී ප්‍රකාශයට පත් කරන ලද පරිපාලන වාර්තාවේ සඳහන් වේ.

පීඩිත වතු කම්කරු ජනතාවට ඉමහත් මෙහෙයක් සිදු කළ කේ. නඩේස අයියර් මහතා 1947 නොවැම්බර් 7 වන දින අභාවප්‍රාප්ත වූ අතර, අවසන් කටයුතු කොළඹ කනත්තේදී සිදු කරන ලදි. වතු හිමි පාලකයන්ගේ කුරිරුකම් බිඳහෙළමින් ලාංකේය වතු කම්කරුවන්ට නිදහස සොයා තම කාලය ශ්‍රමය මෙන්ම සියලු දේ කැපකළ ප්‍රතාපවත් මිනිසෙකු වූ නඩේස අයියර්ගේ කාර්යභාරය සදානුස්මරණීය බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT