Home » කඩවත අධිවේගී පිවිසුමේ හෙමින් වැඩ

කඩවත අධිවේගී පිවිසුමේ හෙමින් වැඩ

by sachintha
January 22, 2025 1:13 am 0 comment

කවර රජයක් යටතේ වුවද ශ්‍රී ලංකාව තුළ අධිවේගී මාර්ගයන් ස්ථාපිත කරනු ලැබුවේ මහජනතාවගේ මෙන්ම ඉක්මනින් රට තුළ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණෙනි. එමඟින් ආර්ථිකයට මහඟු මෙහෙයක් වන බවද කිව යුතුය. එම පහසුව මෙන්ම අනෙකුත් වාසි සහගත තත්ත්වයන් කවරාකාර වුවද අධිවේගී මාර්ගයන් තුළ ප්‍රවිෂ්ට වීමේ ගැටලු නම් පවතින බව කිව යුතුය. සියලු ස්ථානවල එසේ නොවුවද මා මෙහි සඳහන් කරන කොළඹ දෙසට පැමිණීමට තිබෙන කඩවත පිවිසුම යනු කාර්යක්ෂමතාව අතින් දුර්වලම ස්ථානය බව සඳහන් කරමි. මා දිනපතා කොළඹට පිවිසෙන්නේ එම පිවිසුමෙනි. අතොරක් නොමැතිව වාහන ඉන් ඇතුළු වන්නේ දරුවන්ගේ පාසල්වලට නිසිවේලාවට යාමට මෙන්ම තම රාජකාරි ස්ථානයට නිසි වෙලාවට යාමේ අරමුණෙනි. මෙම පිවිසුමේ ඇතුළුවීමේ මාවත් දෙකක් පැවතියද ඉන් එක කොටසක් විවෘත වන්නේ පෙරවරු හතත් පසුවීය. ඒ මොහොත වනවිටත් එක් පෙදසකින් ඇතුළු වීමට වාහන පෝලිමක් පවතින බවද කිවයුතුය. සරලවම සඳහන් කරන්නේ නම් ජනවාරි පළවෙනිදා යනු සියලුදෙනා සතුටු සිතින් නිසි වෙලාවට තම රාජකාරි ස්ථානයට පැමිණීමට අදිටනින් එන දිනයයි. එහෙත් එදිනද එම කොටස විවෘත කරනු ලැබුවේ පෙරවරු 7 පසුවීය. එම ස්ථානයේ පවතින cctv දර්ශනවල වෙලාව සහ දිනය නිවැරදිනම් මෙය ඇස ගැටෙන අදාළ බලධාරීන්ට එහි නිරවද්‍යතාව දැක බලාගත හැකි වනු ඇත. දිනපතා මෙම පමාවීම සම්බන්ධයෙන් රිසිට්පත දෙනු ලබන නිලධාරියාට පසුගිය දිනෙක පැවසුවේ අනෙක් කොටසද කලින්ම විවෘත කරන ලෙසයි. එවිට ඔහු සඳහන් කර සිටියේ “ඉක්මනට යන්න එතකොට යන්න පුළුවන් ” යන ආකාරයේ සමච්චල් සිනහවක් සහිත කතාවකි. මහජන බදු මුදල් වලින් වැටුප් ලබාගන්නා ඔවුන්ගෙන් අපහට අමතර ආකාරයේ කතා අහන්න ලැබෙන්නේද ඒ ආකාරයෙනි. පහත දැක්වෙන්නේ පෙරවරු හත පසුවීමෙන් ලබාගත් ඡයාරුපයකි. ඒ රැකියාවට පැමිණීමේදී මාහට වාහනය එදෙසට හැරවූ පසු නිතර දෙවේලේ දක්නට ලැබෙන දසුනකි. එනිසා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පොදු මහජනතාවගේ වටිනා කාලය තවත් මිනිත්තුවක් හෝ වැඩියෙන් රට වෙනුවෙන් කැපකිරීමටනම් මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. මේ ස්ථානයෙන් වාහන තද බදයක් ඇතිවනවා යනු සල්ලි ගෙවා අපද අධිවේගී මාර්ගයේ ඔරුගොඩවත්ත කරා පැමිණෙන්නේ වාහන තද බදයද සමඟින් බවයි. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ අදාළ බලධාරීනි. “මේ ඔබගේ අවධානය පිණිසයි ”

කරුණාරත්න නම්මුණි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT