වැටුප් වැඩි කළා කියලා කම්කරුවන්ගේ ජීවිත යහපත් වන්නේ නෑ
හොඳ ආදායමක් එන්න නම් නිෂ්පාදනය වැඩි වෙන්න ඕනෑ
අපි ඉදිරියේදී මහා පරිමාණ ශ්‍රම බළකායක් හදනවා
රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රබලම දායකත්වයක් දෙන කම්කරු ප්‍රජාව මුහුණ දෙන ගැටලු, ඵලදායී ශ්‍රම බළකායක් නිර්මාණයට අවශ්‍ය පුහුණුව සහ සේවක අර්ථසාධක අරමුදල් ගැනීමට යෑමේදී මුහුණ දෙන ගැටලු ආදිය පිළිබඳ කම්කරු ඇමැති, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.
රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රබලම දායකත්වයක් දෙන කම්කරු ප්‍රජාව මුහුණ දෙන මූලික ගැටලු මේ වන විට හඳුනාගෙන තිබේද ?
ඉතිහාසය පුරාවටම අපේ රටේ කම්කරු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව පොදු අවබෝධයක් සහ අදහසක් අපට තිබෙනවා. නමුත් ඒ අය තනි තනිව මුහුණ දෙන ප්‍රශ්න, තනි තනිව නියැළෙන කර්මාන්ත ආදිය ගැන අපි සියයට සියයක් හඳුනාගෙන තිබෙනවා කීවොත් එය බොරුවක්. ඒනිසා අපි ඒවා හඳුනා ගනිමින් ඉන්නවා. අපි පොදුවේ දන්නවා, කම්කරුවන් කර්මාන්තශාලාවල වැඩ කරද්දී තිබෙන ජීවිතය, සෞඛ්‍ය, ආදායම වගේම සමාජ ප්‍රශ්න ගණනාවක් පොදුවේ අපි දකිනවා. මේ ප්‍රශ්නවලට අපි අතීතයේ උත්තර සෙව්වේ ඒ ඒ ප්‍රශ්න නිර්මාණය වන වැඩ රාමුවක් ඇතුළේ ඉඳන්. ඒ කියන්නේ නිෂ්පාදන සම්බන්ධතා ඇතුළෙ. හැමදාම ප්රශ්නය එනවා. ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා. නමුත් ඒ ප්රශ්නය ඇති නොවෙන වැඩපිළිවෙළකට ගිහින් නෑ. ඒනිසා අපට අවශ්‍ය කරන්නේ හුදෙක්ම නිෂ්පාදකයාගේ නිෂ්පාදනයට සම්බන්ධ වන අනෙකුත් බලවේග, සම්බන්ධතා පැත්තක තියලා කම්කරුවාගේ ප්‍රශ්නයට උත්තර සෙවීම නොවේ. මේ ප්‍රශ්න නිරාකරණය කරන්න නම් රට තුළ නිෂ්පාදනය වැඩි කළ යුතුයි.
අපි හැමදාම හිතපු සහ කියපු දේ තමා මේ. එසේ නම් රටේ නිෂ්පාදනය වැඩි කිරීමට කරුණු කාරණා ගණනාවක් අවශ්‍යයි. නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ආයෝජන කැඳවීමේ, ආයෝජන ක්‍රියාත්මක වීමේ ප්රජාතන්ත්රවාදී වාතාවරණයක් තියෙන්න ඕනෙ. ඒ ආයෝජනවලට සම්බන්ධ වෙන අයට සහභාගි වීමේ ඉඩකඩක් තියෙන්න ඕනෙ. ඒ ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභය සාධාරණව බෙදී යන පරිසරයක් හැදෙන්න ඕනෙ. ඒ සඳහා නීතිරීති සකස් වෙන්න ඕනෙ. අන්න ඒක තමා වත්මන් ආණ්ඩුව කරමින් ඉන්නෙ. ඒ පරිසරය තුළ නිෂ්පාදකයාටත්, ආයෝජකයාටත්, කම්කරුවාටත්, ද්‍රව්‍ය සපයන්නාටත්, ගබඩා කරන්නාටත්, ප්‍රවාහනය කරන්නාටත්, ඒ සඳහා රක්ෂණය කරන්නාටත් ආදී ගැට ගැසී තිබෙන විවිධ ක්ෂේත්රවල ඉන්න කණ්ඩායම් එක තැනකට ගෙනත් එක ගමනක් යන්න අවශ්‍ය කරන පහසුකම්, නීතිරීති සකස් කිරීම සහ මඟ පෙන්වීම තමා අපි කරන්නෙ. ඒ මූලික අවබෝධය ඇතිව දැන් වැඩ සිදු කෙරෙමින් තියෙනවා.
කම්කරු ප්‍රජාව ගැන පැවැති රජයන් දැක්වූ සැලකිල්ල ගැන සෑහීමකට පත් විය හැකිද ?
සමහර තැන්වලදී අරන් තිබෙන තීන්දු තීරණ ගැන මතුපිටින් බලා අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නෑ. ඒ තීන්දු තීරණත් අරන් තියෙන්නෙ ඒ අවස්ථාවේ පවත්වන ඡන්දය ඉලක්ක කරගෙන, එහෙම නැත්නම් වෘත්තීය සමිතියකට ඡන්දයක් ලබාගැනීමට මිස යහපත් නිෂ්පාදන සම්බන්ධතා ඇති කරන්න නොවේ. උදාහරණයක් ලෙස වතු කම්කරු වැටුප පෙන්වාදිය හැකියි. මේ වැටුප හරි තැනකට ගේන්න තවම බැරි වෙලා තියෙනවා. හැමදාම සාකච්ඡා කර තියෙන්නේ මේ පඩිය ගැන විතරමයි. ඒ මිනිසුන් වැඩ කරන පරිසරය ඒක ප්රජාතන්ත්රවාදී පරිසරයක්ද? වැඩ කරන්න පුළුවන් වැඩබිමක්ද? ඒ අයගේ ආරක්ෂාව, සෞඛ්‍ය ආදිය පිළිබඳ සාකච්ඡාවී තියෙනවාද? මේ ගැන සෑහීමකට පත් විය හැකි ආකාරයෙන් සාකච්ඡා සිදුව නෑ. යම් යම් තැන් ආවරණයවී තියෙනවා. එනිසා ඒ අතීතයට බැණලා වැඩක් නෑ. වෙලා ඉවරයි. අපට දැන් අවස්ථාව දී තියෙනවා, ඒ අත්දැකීම් අරගෙන පැරණි සේව්‍ය සේවක සම්බන්ධතා වෙනුවට නව ආයෝජන සම්බන්ධතා, නව ව්‍යාපාරික සම්බන්ධතා, නව නිෂ්පාදන සම්බන්ධතා මතට කණ්ඩායම එකතු කරන්න. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ අනුව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව ආයෝජන සහ නිෂ්පාදන සම්බන්ධතා වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම් වෙනවා.
විශේෂයෙන් වතු කම්කරු ජනතාවගේ ගැටලු විසඳීමට යම්කිසි වැඩපිළිවෙළක් තිබේද ?
ඔව්, සහතික ඇත්ත. දැන් වැඩපිළිවෙළක් තියෙනවා කීවොත් බොරු. අතීතයේදී අපි දේශපාලනයක් කරමින් හිටියා. ඒනිසා මේ සම්බන්ධයෙන් අපට හොඳ අවබෝධයක් තියෙනවා. අපේ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් තියෙනවා. එතැනදී අපට තිබුණේ තියෙන ආණ්ඩුව යටතේ යම් පහසුකම් ටිකක් ගන්න. දැන් ඒ අවබෝධයත් අපට තියෙනවා. ආණ්ඩුවත් අපේ. එනිසා ඒ අයට පහසුකම් දීමටත් වඩා එහා ගිය තැනකට ගොස් රට තුළ නිෂ්පාදන වැඩි කිරීමේ වැඩපිළිවෙළකට යනවා. එහිදී මේ වතු කම්කරුවන්ට ආවේණික ප්‍රශ්න හාම්පුතුන් සමඟ සාකච්ඡා කර බේරුම්කරණයකට වඩා රටේ නිෂ්පාදනය වැඩි කරන යහපත් නිෂ්පාදන සබඳතා ඇති වෙන පරිසරයකට ගෙනයන්න ඕනෙ. අපි විශ්වාස කරන්නේ නෑ, මේ වතු කම්කරුවාට පඩිය විතරක් වැඩි කර එයා හැමදාමත් මේ ලයිමෙ තියන්න. එයා හැමදාම රෝටියක් විතරක් කන තැන තියන්න. වතු කම්කරුවා කියන්නෙත් මේ රටේ වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඔහුටත් හොඳට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් හදන තැනකට අපි යන්න ඕනෙ. මේක විශාල ගමනක්. ඒ අරමුණෙන් කෙටි කාලයකින් කරන්න පුළුවන් දේවල් කරමින් ඉන්නවා. සමහර කෙටි කාලීන දේවල් සමහරුන්ට මදි වෙන්න පුළුවන්. ඔව්. මේ වැටුප වැඩි කළා කියලා ඒ අයගේ ජීවිත යහපත් වන්නේ නෑ. අපි යන්නේ හෙමින් හෙමින්. මම හිතන්නේ අපට බැරි නම් මේ වැඩේ කාටත් කරන්න වෙන්නේ නෑ. අපට ආණ්ඩුකරණය හෝ ප්‍රාමාණික දැනුම හෝ බලය විතරක් නෙමේ තියෙන්නෙ. මේ දේශපාලනය අවුරුදු ගණනාවක් කරලා පළපුරුද්දක් තියෙන කණ්ඩායමක් අපි. එනිසා අපට මේ දේවල් කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසය තියෙනවා. නමුත් ප්‍රතිඵලය දවසින් දෙකෙන් බලා ගන්න බෑ.
ඵලදායී ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමට අවශ්‍ය පුහුණුව සහ පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබේද ?
අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව අපි සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඔබ සඳහන් කළ කාරණය හරි. සේවකයන්ට හොඳ ආදායමක් එන්න නම් නිෂ්පාදනය වැඩි වෙන්න ඕනෙ. නිෂ්පාදනය වැඩි කිරීමට කළ යුතු වැඩ රාශියක් තියෙනවා. තාක්ෂණය, හොඳ ආයෝජන මේ සියල්ල ඕනෙ. ඒ අතර ප්‍රධානම වෙන්නේ ශ්‍රමය. ශ්‍රමයේ ඵලදායීතාව. මෙරට මිනිසුන්ට හොඳ විභවතාවක් තියෙනවා. සමහර දේවල් ගැන විධිමත් අධ්‍යාපනයක් නොතිබුණත් වැඩපොළට ගිහින් වේගයෙන් ඉගෙන ගන්න ජනතාවක් අපට ඉන්නෙ. එසේ නම් අපේ වගකීම තමයි දියුණු ශ්‍රම බළකායක්, වඩාත් දියුණු මානව සම්පතක් හදන්නේ කොහොමද කියන එක. නීතිය පැත්තෙන්, අමාත්‍යාංශය පැත්තෙන් වැඩ කරන ගමන්ම අධ්‍යාපනය පැත්තෙනුත් අපි විශාල වැඩ කොටසක් කරන්න යෝජනා කර තියෙනවා. එය විධිමත් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන දෙකටම යෝජනා කර තියෙනවා. එතැනින් තමා මේ දිගු ගමන යන්නෙ. අධ්‍යාපනය ඇතුළේ හොඳ බළකායක් හදනකොට ලෝකයට ගැළපෙන සහ අපට අවශ්‍ය ශ්‍රමයේ ස්වරූපය අපි තාම දන්නේ නෑ. තාක්ෂණය විසින් මේ ශ්‍රමයේ අවශ්‍යතාව වේගයෙන් වෙනස් කරනවා.
අපි අද සැලසුම් කළොත් තව අවුරුදු දහයකින් ශ්‍රමයේ ස්වරූපය මෙපමණයි කියලා අවුරුදු දෙකක් යනකොට කියනවා, දැන් ඒක නෙවෙයි වෙන එකක් කියලා. ඒනිසා උචිත පරිදි වෙනස් කර ගැනීමේ සැලැස්ම අපට තියෙන්න ඕනෙ. ඒ සඳහා තියෙන්න ඕනෙ අධ්‍යාපනය, තාක්ෂණය සහ ආණ්ඩුවේ මඟ පෙන්වීමයි. මේ තුන්ඈඳුනු කාරණයත් එක්ක අපි ඉදිරියට යනවා. නමුත් එය අධ්‍යාපනයත් එක්ක ඇවිත් හරි ප්‍රතිඵලයක් පේන්න අවුරුදු 12ක් 13ක් වුවමනායි. කෙටි කාලීන වශයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෘත්තීය අධ්‍යාපනය වගේ තැන්වලට යොමු කර ගන්නත් අපි මැදිහත් වෙනවා. මෙයින් අපට අවශ්‍ය වන්නේ නිපුණතා පාදක කර ගත්, නිපුණතාවෙන් ඉහළට පැමිණි මානව සම්පතක් හදන්න.
අපේ රටේ එය කරන්න පුළුවන්. ඒ මානව සම්පත අපේ රට තුළ ශ්‍රමය ලබාදී විශාල ලෙස ආර්ථික නිෂ්පාදනයක් කරනවා වගේම ලෝකයත් එක්ක කරට කර තරග කර ලෝකයේ මහා පරිමාණ තාක්ෂණ, පර්යේෂණ සහ නිෂ්පාදන පැත්තට යොමු වෙන්නත් පුළුවන්. මේ අනුව අපි ඉදිරියේදී මහා පරිමාණ ශ්‍රම බළකායක් හදනවා. මෙලෙස ක්‍රියා කිරීම තුළින් ඉදිරියේදී මෙරට ශ්රමයට එකතු වෙන්න මිනිසුන්ගේ නැමියාව සහ උනන්දුව විශාල ලෙස වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා.
සේවක අර්ථසාධක අරමුදල් ගැනීමට යෑමේදී විවිධ ගැටලු ඇතිවන බවට ජනතාව චෝදනා කරනවා. මේ ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට වැඩපිළිවෙළක් තිබෙනවාද ?
දැනටමත් අපි සාකච්ඡා වට කිහිපයක් ඒ සම්බන්ධයෙන් පැවැත්වූවා. එහෙම ගැටලු තියෙනවා. ඒවාට යම් යම් නීතිරීති හදා මඟ පෙන්වීමක් සිදු කරනවා. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවෙන් පාලනය කරනවා. කළමනාකරණය කරනවා. එහි මූලික කටයුතු නියාමනය කිරීම අපේ කම්කරු අමාත්‍යාංශය යටතේ සිදු වෙනවා.
සරල උදාහරණයක් ගත්තොත් මහ බැංකුවේ තියෙන දත්ත පද්ධතියත් අපි ළඟ තියෙන දත්ත පද්ධතියත් අතර සංසන්දනයක් තාම හරියට සිදු වන්නේ නෑ. ඒනිසා ඒවා හදාගන්න අවශ්‍යයි. යමෙක් සේවයෙන් විශ්‍රාම ගියාට පසු ඒ ප්රතිලාභ ටික ඉක්මනින් දෙන ක්‍රමවේදයක් ඉතා වැදගත්. මෙහි යම් යම් දේවල් හැදිලා තියෙනවා. නමුත් එය ටිකක් වේගවත් කරන්නත්, ඒ අයගේ වැඩ පහසු කරන්නත් අපේ තිබෙන සම්පත් පුළුල් කරන්න යෝජනා කර තියෙනවා. මේ සේවක අර්ථසාධක අරමුදල්වලින් ලැබෙන ප්රතිලාභ තවදුරටත් පුළුල් කරන්න, රක්ෂණ ක්‍රමයක් හදාගන්න, මිනිසුන්ගේ සුරක්ෂිතභාවය ඇති කරන්න අපි කටයුතු කරනවා. යමකුට වැඩ කළ හැකි කාලයේ ඔහුගේ ශ්‍රමය, දහඩිය, මහන්සිය, ලේ, කඳුළු තමා අරමුදල් අස්සෙ තියෙන්නෙ. එනිසා විශ්‍රාම ගියාට පසුව ඒක ගන්නත් බාධක තියෙනවා නම් ඒක හරි ගැටලුවක්. එනිසා අපි කළ යුත්තේ මෙය වඩා හොඳ ප්රතිලාභ ගෙන දෙන විදියට සැලසුම් කිරීමයි. එයට අපි මැදිහත් වෙමින් ඉන්නවා.
දිල්හානි ජයවර්ධන
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නෙ