ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උලෙළ 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ගරු ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානයයි. මෙම සම්මාන ප්‍රදානය
මඟින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේදී
ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උලෙළ 25ක් සංවිධානය කොට ඇත.
2023/24 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උලෙළ පැවැත්වේ. සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමේ. තවද අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඬුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ. ආංශික සම්මාන තෝරා ගැනීම අපනයන ආදායම මත පමණක් නොව තවත් නිර්ණායක කිහිපයක් මත පදනම් වූ අතර අපනයන වෙෙළඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය, අපනයන ආදායම් ආපසු රට තුළට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි දෑ සැලකිල්ලට භාජනය විය.
සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලැබූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. Ernst & Young (EY) 26 වන ජනාධිපති අපනයන සම්මාන උලෙළ සඳහා “දැනුම සහකරු” ලෙස කටයුතු කරනු ලබයි. නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපායමාර්ග ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වා දීම, අපනයනවල තිරසර බව, කලාපීය අගය දාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන්හි අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම් රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ. ජනාධිපති අපනයන සම්මාන උලෙළ මඟින් ජයග්‍රාහකයින්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවේ.