Home » අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් 761,000ක්

අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් 761,000ක්

by sachintha
January 22, 2025 1:58 am 0 comment

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් 761,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි සමාජ සුභසාධක කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසයි.

ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලැබීම පිණිස සුදුසුකම් ඇති පවුල් හඳුනාගැනීම සඳහා තොරුතුරු එක් රැස් කිරීමේ වැඩසටහන දීප ව්‍යාප්තව ඊයේ (21) සිට ආරම්භ කිරීමට සමාජ සුභසාධක මණ්ඩලය කටයුතු කර තිබේ.

තොරතුරු එක් රැස් කිරීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකටම රජයේ ක්ෂේත්‍ර නිලධාරියකු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පත් කර තිබෙන අතර තොරතුරු එක් රැස් කිරීම ජංගම මෘදුකාංගයක් මඟින් සිදු කරයි. තොරතුරු රැස් කිරීම පවුලේ ආදායම හා වියදම, පවුලේ යැපෙන්නන් ගණන, සාමජිකයන්ගේ අධ්‍යාපන තත්ත්වය, නිවෙසේ තත්ත්වය ඇතුළු මානයන් 6ක් ඔස්සේ සිදු කෙරේ.

සෑම අයදුම්කරුවකුටම කිව්.ආර්. කේතයක් සහිත රිසිට්පතක් ලබා දෙන අතර තොරතුරු එක් රැස් කිරීම අවසානයේ කිව්.ආර්. කේත සහිත රිසිට් පත නිලධාරියාගෙන් ලබා ගැනීමට අයදුම්කරු කටයුතු කළ යුතුව ඇත.

තොරතුරු රැස්කරන නිලධාරියා තමන් නිවෙසට එන බවට කෙටි පණිවුඩයක් මඟින් අදාළ පවුල වෙත දැනුම් දෙන අතර එම පවුලේ අය විසින් අවශ්‍ය කරන තොරතුරු සැපයීමට අවශ්‍ය දෑ සුදානම් කර ගත යුතු බවද සමාජ සුභසාධක මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

අස්වැසුම ක්ෂේත්‍ර තොරතුරු රැස් කිරීමේ කාල සීමාවේදී අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ තාක්ෂණික සහ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර තිබේ. මේ වැඩසටහන හා සම්බන්ධ සියලු දෙනාට මාර්ගගත ක්‍රමය ඔස්සේ එම මැදිරිය හා සම්බන්ධ විය හැකි අතර අයදුම්කරුවන්ටද 0763662294 දුරකතන අංකය ඔස්සේ මේ මැදිරිය ඇමතිය හැකිය.

සුභසාධක මණ්ඩලයෙ 1924 ක්ෂණික ඇමැතුම් අංකය අමතා වැඩි විස්තර ලබාගත හැකිය. සංගනණ වැඩසටහන ජනවරී 31 වැනිදායින් අවසන් වේ.

අස්වැසුම 1 වැඩසටහන යටතේ දුක්ගැනවිලි හා අභියාචනා ඉදිරිපත් කළ අයදුම්කරුවන්ගේ දුක්ගැනවිලි විභාග කිරීම මේ සංගණනයෙන් පසු සිදු කෙරෙන බවද සමාජ සුභසාධක කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා කියයි. මෙම දුක්ගැනවිලි හා අභියාචනා විභාග කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති දුක්ගැනවිලි කමිටු මඟින් සිදු කෙරෙන බවද හෙතෙම පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT