Dolores Hayden විසින් 2005දී, ගැහැනියගේ නිදහස තීරණය වෙන්නෙ ඇය මූල්‍යමය වශයෙන් නිදහස් වුණාම බව ලියා තිබෙනවා. හැබැයි ගැහැනියට ගෘහණියක වශයෙන් ඇය නිවස තුළ දරන බරින් නිදහස් වුණාම නිදහසේ ශ්‍රම බලකායට එකතුවෙන්න පුළුවන් කියලා හේඩ්න් කියනවා. ඇය මේක හඳුන්වන්නෙ විරුද්ධාභාසයක් (Paradox) විදියටයි.
අප කුඩා කාලයේ අපේ අම්මා මටත්, මගේ ඥාති සහෝදරියන්ටත් දුන් උපදෙස වූයේ මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමෙන් තමයි වැඩිහිටි කාන්තාවක් විදියට අපට ඔළුව කෙලින් තියාගෙන ඉන්න වෙන්නෙ කියන එක. ඒත් බොහෝ කාන්තාවන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම උදෙසා රැකියාවක් කළද, ඔවුන්ගේ ගෘහ ජීවිතයේ කටයුතු වල අඩුවක් වී නෑ. ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිත වල බර දෙගුණයකින් වැඩි වී තිබෙනවා. ඇතැම් ස්ත්‍රීවාදී පර්යේෂකයින් පවසන්නේ ශ්‍රම බලකායට එකතු වීමත් සමඟ කාන්තාවන්ගේ ජීවිතවල බර තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි. එනම් රැකියාව, නිවසේ කටයුතු සහ කාන්තාවක් වශයෙන් කළ යුතු ඥාති සහ ප්‍රජා කටයුතු යි.
ඇතැම් කාන්තාවන් රැකියාවක් කිරීමෙන් උපයන මුදල් සම්ප්‍රදායිකව ඇය විසින් කිරීමට නියමිතව තිබූ ඉවුම් – පිහුම්, දරුවන් සහ වැඩිහිටියන් බලා ගැනීම යන කටයුතු බාහිර පාර්ශ්වයක් හරහා කරගැනීමට තමන්ගේ සමස්ත ආදායම හෝ විශාල කොටසක් වැය කරනවා. ආරක්ෂිත සහ අවශ්‍යතා සම්පූර්ණ කරන පොදු ප්‍රවාහන ක්‍රමයක් නැති බැවින් කුලී රථ වැනි සේවාවන් සඳහා කාන්තාවන් දරන වියදම ද සාපේක්ෂව ඉහළයි.
කෙසේවෙතත් ධනවාදී වෙළෙඳපොළ සාර්ථකත්වය පවතින්නේ එහි ප්‍රසාරණය මතයි. කුටුම්භයකින් එක් පුද්ගලයකු පමණක් රැකියාවක නිරත වීමෙන් පවුලක් ලෙස සතුටින් ජීවත්වීමට තිබූ හැකියාව මීට දශක පහ හයකට පෙර ලෝකයේ බොහෝ රටවල නිමා වෙනවා. කාන්තාවන් ද රැකියා වෙෙළඳපොළට එකතු කරගැනීම හරහා වෙෙළළෙ ආසන්න වශයෙන් දෙගුණයකින් ප්‍රසාරණය කර ගැනීමට ධනවාදය උත්සාහ දරනවා. කාන්තාවගේ නිදහස ලැබෙන්නේ මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමෙන් බව විශ්වාස කරන ලිබරල් ස්ත්‍රීවාදීන් ද කාන්තාවන්ට රැකියාවක් කිරීමට ඇති සම අයිතිය වෙනුවෙන් සටන් වදිනවා. ලිබරල් ස්ත්‍රීවාදය කාන්තාවන්ට මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීමට තිබිය බොහෝ අයිතීන් සහ නිදහස අත්පත්කරදීමට විශාල මෙහෙවරක් ඉටු කර තිබෙන බව ඇත්තක්. නමුත් ප්‍රශ්නය ඇත්තේ සැබෑ නිදහස කුමක්ද යන්න සහ වෙෙළඳපොළ තුළ එය ඉටු කරගැනීමේ සීමාවන් මොනවාද යන්නයි.
අද වන විට බොහෝ ක්ෂේත්‍රවල මෙන්ම විශ්වවිද්‍යාල වලින් එළියට එන උපාධිධාරීන් අතර වැඩියෙන්ම සහ ඉහළින්ම සිටින්නේ කාන්තාවන්. නමුත් රැකියා ස්ථානවල ඉහළට යෑමේදී කාන්තාවන් මඟ හැළෙන ස්වභාවයක් දකින්නට පුළුවන්. මෙය ලිබරල් ස්ත්‍රීවාදය තුළ කාන්දුවන නළයක් (leaky pipelines) ලෙස හැඳින්වෙනවා. දරුවන් බිහිකිරීම සහ ඇති දැඩි කිරීම වැනි ජීව විද්‍යාව හා බැඳුණු සමාජ කාරණා මත කාන්තාවන් රැකියා ස්ථානයේ පසු බසිනු දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමට සහ සමනයට ධනවාදයේ සුභසාධන මුහුණුවරට බර බටහිර රටවල උත්සාහ දරද්දී වෙෙළඳපොළ ක්‍රමයේ මේ වන විට වඩාත් ක්‍රියාශීලී රටවල් වන චීනය සහ සිංගප්පූරුව වැනි ආසියාතික රටවල කාන්තාවන් විවාහය සහ මාතෘත්වය ප්‍රතික්ෂේප කරමින් හෝ කල් දමමින් සිටිනවා.
බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් සමඟ මා කළ පර්යේෂණයකින් පැහැදිලි වුණේ සැමියා සහ බිරිඳ දෙදෙනාම එකම වෛද්‍ය ක්ෂේත්‍රයේ වන පවුල්වල රැකියාව ආරම්භයේදී බිරිඳ වඩා කැපී පෙනෙන දක්ෂතා තිබුණත්, වසර 20 ක් පමණ ගත වන විට සැමියා ඉහළ තනතුරක් දරණ විශේෂඥයකු වුවද, බිරිඳ පසු බැස තිබෙන බවයි. මීට හේතු ලෙස බිරිඳ දරුවන් ලැබීමට සහ ඔවුන් සමඟ කාලය ගත කිරීමට දීර්ඝ නිවාඩු ගැනීම සහ විභාග සහ පුහුණු වැනි අමතර සුදුසුකම්වලට අඩු අවධානයක් දීම වැනි කාරණා මතුවුණා. එක් වෛද්‍යවරියක ප්‍රකාශ කරනු ලැබුවේ රැකියා ක්ෂේත්‍ර බහුතරයක් පුරුෂ මූලික බවත්, ඒවායේ ඉහළට යාමද “පිරිමි වැඩක්” බවත් ය. කාන්තාවකට මවක් ලෙස දරුවන් සමඟ කාලය ගත කිරීම වඩා වැදගත් බවත්, කාන්තාවන්ගේ නිදහස තිබෙන්නේ ලෝකය විනාශය වෙත ළඟා කළ පුරුෂ මූලික ක්‍රමයේම ඉහළට යෑමෙ නොව කරුණාව, දයාව සහ එකිනෙකා බලා ගැනීම වැනි “ස්ත්‍රී මූලික වටිනාකම්” මත අලුත් ලොවක් ගොඩ නැඟීම හරහා බවත්, ඇතැම් ස්ත්‍රීවාදීන් තර්ක කරන්නේ ඒකයි.
මගේ ගම වන නෙලිබෑවේ මා කළ පර්යේෂණයේදී දකින්න ලැබුණේ, ගමේ කාන්තාවන් මැදපෙරදිග සහ නිදහස් වෙළෙඳකලාපවල රැකියාවලට යෑමත් සමඟ ඔවුන් සිය ගෘහස්ථ කාර්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම පාහේ නිදහස්ව ශ්‍රමිකයන් වන බවයි. එහෙත් ඒ සමඟ පුරුෂමූලික ගෘහ අවකාශවල තත්ත්වයට බාධා එල්ල වෙන බවයි. ලිබරල් වෙළෙඳපළට ඇති මූලිකම හැකියාවක් වන්නේ තත්ත්වයන්ට අනුගත වීමේ හැකියාවයි. ඒ අනුව වෙෙළඳපළ විසින් කාන්තාවන් ගෘහ අවකාශයෙන් වෙන් කර ශ්‍රම බලකායට සම්බන්ධ කරගැනීම වෙනුවට රැකියාවත් ගෘහ කටයුතුත් එකට දැරීමට හැකිවන ලෙස අනුගත කෙරෙනවා. ගමට ආසන්නයේ ඇඟලුම් කර්මාන්තශාලා විවෘත කිරීමත්, ගෘහණියක සහ මවක ලෙස නිවසේ සියලු කටයුතු ඉටු කිරීමට හැකිවන ලෙස වැඩමුර සකස් කිරීමත් හරහා පුරුෂාධිපත්‍ය ක්‍රමයට බාධා නොකර වෙළෙඳපළ උන්නතිය පවත්වා ගත හැකි ලෙස ක්‍රියාමාර්ග ගන්නවා. මේ සියල්ල තුළින් වුවද, තම නිදහස සහ උන්නතිය ළඟා කරගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග කාන්තාවන් විසින් ගන්නවා. නමුත් එය ඔවුන්ගේ හැකියාව මත කරන දෙයක් මිස සමහර ලිබරල් ස්ත්‍රීවාදීන් විශ්වාස කරන පරිදි ලිබරල්වාදය තුළින් ප්‍රදානය කරන දෙයක් නොවෙයි.
ස්ත්‍රී සමාජ වටිනාකම් මත සැමට සුවෙන් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැඟීම යනු පුරුෂමූලික වෙෙළඳපළ තුළ ගැහැනියට ඉහළට යාමට හෝ කෙසේ හෝ ඉහ ගසා සිටීමට හැකි සමාජයක් නිර්මාණය කිරීමට වඩා වෙනස් යමක්. ලිබරල්වාදයට කාන්තාවගේ නිදහස අත්පත් කරගැනීමට කළ හැකි උපරිම සීමාව මෙය නම් වඩා යහපත් සමාජයක් වෙනුවෙන් කරුණාව, දයාව, එකිනෙකා බලාගැනීම සහ ගොඩනැඟීම වැනි “ස්ත්‍රී මූලික වටිනාකම්” මත ගොඩ නැංවිය හැකි නව ලොවක් ගැන අපට බලාපොරොත්තු දල්වා ගත හැකිද?