වාද්දුව සහ දුම්රිය නැවතුම්පොළ නොම්මර 1 දුම්රිය ස්ථාන අතර පොතුපිටිය සංඝානන්ද මාවතේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ තිබූ කොට්ටම්බා ගසක් ඊයේ (20) උදෑසන කිසියම් පුද්ගලයකු විසින් කපනු ලැබ ඇති අතර, එහිදී දුරකතන රැහැන් පද්ධතිය දුම්රිය මාර්ගයට පහත් වීමෙන් සිදුවීමට ගිය ජීවිත හානියක් වළක්වන්නට වාද්දුව දුම්රිය මාර්ග අංශයේ වැඩ පරීක්ෂකවරයකු සහ නඩත්තු ශිල්පියකු සමත්ව තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් වැඩ පරීක්ෂක ටී. සනත් සහ තාක්ෂණ ශිල්පී දුමින්ද දේශප්‍රිය යන දෙදෙනා සිදුවීමට ගිය අනතුර දැක මාර්ගයේ සංඝානන්ද මාවතේ ගමන් කරන මගීන්ට ඉවත් වන ලෙස දැනුම්වත් කරමින් සිය අත රැඳි රතු කොඩිය මඟින් දුම්රිය රියැදුරන් දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇත. එම අවස්ථාවේ මරදාන බලා ධාවනය වූ ගාලු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය දුරකතන රැහැන් පද්ධතියේ පැටලී සංඝානන්ද මාවතේ මීටර් 200ක පමණ දුරක ස්ථාපිත කර තිබූ කොන්ක්‍රීට් කණු හයක් මාර්ගයට පතිත වී තිබිණ.
කෙසේ වුවද දුම්රිය සේවකයන් දෙදෙනාගේ බුද්ධිමත් ක්‍රියාව හේතුවෙන් සිදු වීමට ගිය ජීවිත හානි වැළකී ගිය බව ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, දුම්රියේ දුරකතන රැහැන් පැටලීමත් සමඟම ප්‍රදේශයේ තැන තැන විශාල ශබ්ද නගමින් දුරකතන කණු පෙරළී ගිය බවයි.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක