“ටැංකි සුද්දා” නමැති මත්ස්‍යා ශීඝ්‍ර ලෙස බෝවීම හා තංගුස් දැල් භාවිතය සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති ආදිය හේතුවෙන් තම ධීවර ප්‍රජාව අපහසුතාවයට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධීවර සම්මේලනයේ සභාපති කේ.ඒ. නිලූක සමන් මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පදවිය, යාන් ඔය, වාහල්කඩ, කලාවැව, රාජාංගණය, නාච්චදූව, හුරුළුවැව ආදී මහා වැව් ජලාශ ඇතුළුව වැව් 82ක් අප ධීවර සම්මේලනයට අයිති වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධීවර සාමාජිකයන් නවදහසක් පමණ සිටිනවා. මේ වැව් සියල්ලේම ධීවර කටයුතු නංවාලීමට පත්කර ඇත්තේ ජලජීවී ව්‍යාපෘති නිලධාරින් හත්දෙනකු පමණයි. එක් අයකුට වැව් රාශියක කටයුතු කරන්න වෙලා තියෙනවා. ඒ හේතුවෙන් ධීවර ප්‍රජාවට ලැබෙන සේවය ඉතා අඩු වී තිබෙනවා. මේ සම්බන්ධව අප ඉහළ නිලධාරින් දැනුම්වත් කළාට තවම විසඳුමක් ලැබී නෑ. නීතිවිරෝධී මාළු ඇල්ලීම, ටැන්කි සුද්දා වැනි අනවශ්‍ය මත්ස්‍යයන් ශීඝ්‍රයෙන් වැව්වල ව්‍යාප්ත වීම, තංගුස් දැල් මුළුමනින්ම තහනම් කිරීම වැනි කටයුතු හේතුවෙන් මේ වන විට අප දිස්ත්‍රික්කයේ සාමන්‍ය ධීවර ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. මීට පෙර විශ්‍රාමික යුද හමුදා නිලධාරින් එක්ව ජලජීවී නිලධාරින්ගේ සහයෝගයෙන් දිස්ත්‍රික්කය පුරා වැව්වල විශේෂ මෙහෙයුම් දියත් කර අනවසර මාළු ඇල්ලීම ඇතුළු නීති විරෝධී ක්‍රියා නතර කළත් වර්තමානයේ ඒ තත්ත්වය නැති වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ප්‍රධාන වැව්වල මේ වන විට ‘ටැංකි සුද්දා’ නමැති මත්සයා බහුලව බෝවීම නිසා මිනිස් පරිභෝජනයට ගන්නා මත්ස්‍ය සම්පතේ විශාල අඩුවීමක් තියෙනවා. මත්ස්‍ය බිත්තර කාදැමීම, කුඩා මත්ස්‍ය පැටවු කාදැමීම විශාල ලෙස දෛනිකව ටැන්කි සුද්දන් විසින් සිදු කරනු ලබනවා. මේ හේතුවෙන් අප දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය සම්පතේ විශාල අඩුවීමක් මෙන්ම මත්ස්‍ය සම්පත විශාල ලෙස විනාශවීමක් දක්නට ලැබෙනවා.
“2024 වසරේ අප දිස්ත්‍රික්කයේ වාර්ෂික මත්ස්‍ය ආදායම මෙට්‍රික්ටොන් දහඅට දහසක් පමණ වෙනවා. මේ ආදායම ගැන අපට කොහොමටවත් සතුටු වෙන්න බැහැ. තංගුස් දැල් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නිසාත් ආදායම අඩු වී තිබෙනවා. තංගුස් දැල් භාවිතය මා අනුමත කරන්නේ නැහැ. නමුත් අතීතයේ සිට ධීවර ජනතාව තංගුස් දැල් භාවිත කළා. වැව්වල හොඳ මත්ස්‍ය ආදායම් තිබුණා. තංගුස් කුඩා දැල් භාවිත කළහොත් මත්ස්‍ය පැටවු විනාශ වෙනවා. නමුත් අඟල් 4 ‘ඇහි’ ඇති තංගුස් දැල් භාවිතයෙන් එහෙම විනාශ වෙන්නේ නැහැ. මම බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා අඟල් 4 ‘ඇහි’ ඇති තංගුස් දැල් භාවිත කිරීමට ධීවරයන්ට සුදුසු නීති හදන්න කියලා. එසේ වුවහොත් සාමාන්‍ය ධීවරයාට සහනයක් වෙනවා. නූල් දැල්ම භාවිතය නිසා ධීවර මුදලාලිලා හරහා ධීවර කටයුතු කරන්න අපේ දුප්පත් ධීවරයන්ට සිදුවෙලා තියෙනවා. ඒ නිසාවෙන් සාමාන්‍ය ධීවරයාට විශාල පාඩුවක් වෙනවා.”
අනුරාධපුර අතිරේක
අමිල ප්‍රභාත් වනසිංහ