රට බේරා ගත් නායකයාට මොන ආරක්ෂාව නැතත් ජනතා ආරක්ෂාව හැමදාමත් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, හිටපු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටිනවා. මෙය කාගේ අවශ්‍යතාවක් මත කරන්නේ දැයි දන්නේ නෑ.
මහින්ද රාජපක්ෂ මහතා මේ රට බේරා ගත් නායකයා. මේ රටේ අවුරුදු 30ක් පුරා තිබූ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ නායකයා. මේ රට සෘණ ආර්ථිකයට ගිහින් තිබූ රටක්. යුද්ධය අවසන් කර මහ විශාල සංවර්ධිත දේශයක් බවට පත් කළ නායකයා. වත්මන් ජනාධිපතිවරයාගේ ගම වූ තඹුත්තේගමට විදුලිය දෙමින්, පාරවල් හදා මේ රටේ සියලු ගම් නියම්වල යටිතල පහසුකම් දුන් මේ රට අලුත් යුගයකට ගෙනා නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. මෙවැනි නායකයකුගේ ආරක්ෂාව නැති කරන්න බෑ.
මේ රටේ සුවහසක් ජනතාව රට බේරා ගත්, රටට වැඩ කළ මහින්ද රාජපක්ෂ මහතා අමතක කරන්නේ නෑ. එතුමා කළ හොරකමක් තියෙනවා නම් හොයලා ජනතාවට පෙන්වන්න. නමුත් එතුමාගේ ආරක්ෂාව ඉවත් කර, එතුමාට ඉන්න තැන් නැති කර, එතුමා පාරට ඇද දාලා ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත් කරන්න කටයුතු කරන්න එපා.”
නුවන් කොඩිකාර