Home » බන්ධනාගාර නියාමකගේ හිස්වැසුමේ අයිස්

බන්ධනාගාර නියාමකගේ හිස්වැසුමේ අයිස්

by sachintha
January 21, 2025 12:29 am 0 comment

බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රෝහලට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නියාමකවරයකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් කළ හදිසි සෝදිසි කිරීමක දී අදාළ නිලධාරියාගේ රාජකාරි හිස් වැස්ම තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 05යි මිලි ග්රෑම් 28ක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර රෝහලේ දිවා රාජකාරි කටයුතුවල නිරත අදාළ නිලධාරියා සම්බන්ධයෙන් බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් දින කිහිපයක් තිස්සේ සෝදිසියෙන් සිට අදාළ හදිසි පරීක්ෂාව පෙරේදා (19) පෙරවරු 10.30 ට පමණ සිදුකර ඇත.

රාජකාරි හිස්වැස්මේ එක් ස්ථානයක් පිටතට නොපෙනෙන ලෙස කපා අයිස් මත්ද්‍රව්‍ය ඒ තුළට ඇතුළු කර තිබී ඇති අතර මොහු කලක පටන් මේ ආකාරයෙන් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන එන්නට ඇතැයි සැක කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන්ට ද මොහු අයිස් මත්ද්‍රව්‍ය සපයන්නට ඇතැයි සැක කරන අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු පල්ලේකැලේ පොලිසිය වෙත බාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

 

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT