Home » පාසල් සිසුවිය පැහැරගෙන යාමේ සිද්ධිය: දවුලගල වැඩ බැලූ OICගේ වැඩ තහනම්

පාසල් සිසුවිය පැහැරගෙන යාමේ සිද්ධිය: දවුලගල වැඩ බැලූ OICගේ වැඩ තහනම්

by chanaka
January 21, 2025 3:30 pm 0 comment

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිද්ධිය වූ දිනයේදී පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.

එසේ වැඩ තහනම් කර ඇත්තේ, සිද්ධිය වූ දිනයේ දී දවුලගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහ මහතාගේයි.

එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී. කුසුම් ගමගේ මහත්මියට කඩුගන්නාව පොලිසියටද උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි (අපරාධ අංශයේ ස්ථානාධිපති) වෙලම්බොඩ පොලිසියටද ස්ථාන මාරු ලබා දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝග මත මෙම විනය පියවර ගෙන තිබේ.

ඉකුත් ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලිසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත මෙම විනය පියවර ගෙන ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT