කිසිවකුට අතනොපා තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් අතමිට සරු කරගන්නා ගමන් රටෙහි ආර්ථිකයටත් පිටිවහලක් වන යුවළක් හොරණ ප්‍රදේශයෙන් ‘විස්කම්’ අපට හමුවිය. ඔවුන්ගේ ව්‍යාපාරය රටෙහි සංවර්ධනය හා අත්වැල් බැඳගන්නේ ආර්ථිකයට දායක වීමෙන් පමණක්ම නොව, ස්වාභාවික පරිසරයට ද යමක් ඉතිරි කර දෙමිනි. ඉතින් අද විස්කම් වෙතින් මෙලෙස දිගහරින්නේ පරිසරයේ තියෙන ගස් කපා විනාශ නොකර, කර්මාන්ත ශාලාවලින් ඉවත දමන පැලට් ලීවලින් ගෘහ භාණ්ඩ ඇතුළු අපූරු නිර්මාණ රැසක් කරන ඇල්ගොඩගේ රුවිනි සහ එස්.එස්. සවීන් නුවන් කුමාර දෙපළගේ විස්කම් පිළිබඳ කතාවයි.
කොරෝනා වසංගතයත් සමඟ හටගත් දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ ඇතැම් අය හඬාවැටෙද්දී මොවුන් තව තවත් ශක්තිමත් වෙමින් තමන්ගේම කියා ව්‍යාපාරයකට අඩිතාලම දැමූ ආකාරය සිහිගැන්වූයේ මෙලෙසිනි.
“මගෙ මහත්තයා ඉස්සරලා කම්පැනි එකක වැඩ කළා. අපි ඒකෙන් අයින් වෙන ලී පැලට් ගෙනල්ලා පැලට් පටි පැලට් විදියට ගෙදර තියාගෙන විකිණුවා. ඒ ජොබ් එකට අමතරව ආදායමක් හොයාගන්නයි. කොරෝනාත් එක්ක මහත්තයා වැඩ කරපු කම්පැනි එක වැහෙන තත්ත්වයකට පත්වුණ නිසා ඒ තත්ත්වෙත් එක්ක අපිට ආර්ථිකය ගොඩක් අමාරු වුණා. පැලට් ලෑලි විකුණනවට වඩා මේකෙන් නිර්මාණයක් කරලා වෙළෙඳපොළක් හදාගන්න ඕන කියන අදහස අපිට මුලින්ම ඇති වුණේ ඒ කාලේ. මොකද ආර්ථිකය අතින් අපි ගොඩාක් පහතට වැටිලා ඒ වෙද්දි හිටියේ. අපි දෙන්නා එකතු වෙලා මුල්ම නිර්මාණ බිහිකරන්න අඩිතාලම දැම්මෙ ඒ විදිහට.”
දුෂ්කරතා සමඟින් පුංචියට ඇරඹූ ඔවුන්ගේ ව්‍යාපාරය සුළු කාලයකදීම දියුණුවට පත් වූ බව රුවිනි මහත්මිය විස්කම් වෙතට පැවසූයේ හද පිරි සතුටිනි.
“අපි නොහිතුව විදිහට අපේ නිර්මාණවලට ඉල්ලුම වැඩිවුණා. අපි මේ ව්‍යාපාරය පටන් ගනිද්දි කියත, ග්ලයින්ඩරය පවා අපි දවසෙ කුලියට අරගෙන තමයි නිර්මාණ කළේ. සුළු කාලයක් ඇතුළත අපිට වැඩට තව කීපදෙනෙක් අවශ්‍ය වුණා. යන්ත්‍ර උපකරණ ගන්නත් අපට පුළුවන් වුණා. මහත්තයා තමයි කම්පැනිවලට ගිහින් පැලට් අරගෙන එන්නේ. අපේ නිර්මාණවලට ඉල්ලුම වැඩි වෙද්දි අපට තව වඩුවැඩ දන්න කට්ටිය ගන්න පුළුවන් වුණා.”
අද වන විට මෙම දෙපළගේ ව්‍යාපාරය තුළින් ඉවත දමන පැලට් ලීයෙන් අපූරු නිර්මාණ රැසක් බිහි කරයි.
“ලී පැලට්වලින් ඕනම නිර්මාණයක් අපි කරනවා. පුංචි බිත්ති සැරසිල්ලෙ ඉඳලා ගෙදරට අවශ්‍ය ඇඳ, මේස, පුටු, පැනට්රි වගේ ඕනම දෙයකුත්, කැෆේවල, හොටෙල්වලට, බුක්ෂොප්වලට, සැලුන්වලට ඒවගේම අවශ්‍ය ඕනම නිර්මාණයක් ඕනම අයකුට අපි කරලා දෙනවා.
අපි ගෙවල්වලට අවශ්‍ය ඕනම නිර්මාණයක් කරලා දෙනවා. ඒවගේම සැලොන්වලට, කැෆේවලට, හොටෙල්, බුක්ෂොප්වලට අවශ්‍ය ඕනම නිර්මාණයක් ඒ කියන්නේ මේස, පුටු, ඇඳවල්, රැක්, බිත්ති සැරසිලි, ටේබල්ස්, චෙයාර්, සැරසිලි, සෝපා, කැෂියර් ටේබල්, වගේ ඕනම නිර්මාණයක් අපි කරනවා.”
රුවිනි මහත්මිය හා සවීන් මහතාගේ මෙවැනි නිර්මාණ, කර්මාන්තශාලාවලින් ඉවත දමන පැලට් ලීයෙන් නිර්මාණය කරන නිසාවෙන්, පරිසරයේ තිබෙන ගස් කපා විනාශ නොකර, පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ලෙස උසස් නිමාවකින් පරිසර හිතකාමී නිර්මාණයක් පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි වීම සතුටට කාරණයක් බව රුවිනි මහත්මිය කීවාය. තවද අඩු වියදමකින් ලස්සනට මේ නිර්මාණ ලබාදිය හැකි බැවින් ඉහළ ඉල්ලුමක් මෙම නිෂ්පාදනයන්ට පවතින බව ද ඇය පැවසුවාය.
“මේ නිෂ්පාදනවලට ගන්න ලීය ඔයිල් ට්‍රීට්මන්ට් කරලා තියෙන නිසා ගොඩක් කල්පැවැත්මක් තියෙනවා. අපේ ගෙදර යටලීය ඒවගේම ලූවර්වලට දාලා තියෙන්නෙත් මේ ලීය. අවුරුදු 15කට එහා කල්පැවැත්මක් මේ පැලට් අයිටම්වලට තියෙනවා.
අපි ෆේස්බුක් එකෙන් තමයි අපේ නිර්මාණ වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ. දැනට රටේ සෑම පැත්තකින්ම අපිට ඕඩර් දීලා කරගෙන තියෙනවා. කරගන්න අපහසු තරමටම ඕඩර්ස් එනවා.”
ආර්ථික දුෂ්කරතා හමුවේ කඩා නොවැටෙමින් තමන්ගේම කියා කුඩා ව්‍යාපාරයක් ඇරඹූ රුවිනි සහ සචින් දෙපළ හොරණ කලාපයේ හොඳම නැගී එන ව්‍යවසායකයින් 14 දෙනා අතරට ද තේරී තිබිණි. රට පුරා විසිරී සිටින මෙවැනි ව්‍යවසායක ව්‍යවසායිකාවන් දිරිගැන්වීමට රජයෙන් ද ඉටු කළ යුතු කාර්යභාරයක් පවතින බව රුවිනි මහත්මිය මතක් කළේ මෙලෙසිනි.
“ඒවගේම ගෘහිණියක් වන මම මහත්තයගෙ සහයෝගෙත් අරගෙන ගෙදර සියලුම වැඩත් කරගෙන මේ කරන ව්‍යාපාරයෙන් අපි ආර්ථික අතින් ඉහළ මට්ටමක ඉන්නවා. කාටවත් අතනොපා තමන්ගේ කියලා දෙයක් කරගෙන රටේ ආර්ථිකයටත් පිටිවහලක් වෙන්න අපි හැමෝටමත් පුළුවන්.
රජයෙන් අපි වගේ අය දිරිගන්වන්න, මේ භාණ්ඩ අපනයනය කරන්න ක්‍රමයක් සලස්වලා දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ ක්ෂේත්‍රෙය් ගොඩක් නිර්මාණ පිටරට පේජ්වල මම දැකලා තියෙනවා. අඩු වියදමකින් වඩාත් ඵලදායී නිර්මාණයක් කරගන්න හැමදෙනාටම පුළුවන්.”
තක්ෂිලා උදයංගනී