Sunday, April 20, 2025
Home » සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සදහා දොරටු වසයි

සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සදහා දොරටු වසයි

by chanaka
January 21, 2025 4:33 pm 0 comment

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා උපයෝගි කොටගෙන එය රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ සදහන් වේ.

තවද ඕමාන් රාජ්‍යයේ නීත්‍යානුකූල රැකියා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් නිකුත් කරන ලද නියාමනය කරන ලද මාර්ග සහ මාර්ගෝපදේශ පමණක් භාවිතා කරන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

ඕමාන් රාජ්‍යයේ රාජකීය ඕමාන් පොලිසිය (ROP) විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි, 2023 ඔක්තෝබර් 31 දින සිට සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කිරීම අත්හිටුවීම බලාත්මක වන අතර, එබැවින් රැකියා අපේක්ෂකයින් සංචාරක වීසා මගින් ඕමානයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බව එම නිවේදනයේ සදහන් වේ.

තවද, දැනටමත් ඕමාන් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ වීසා කාලය අවසන් වීමට පෙර රටින් පිටවන ලෙස තානාපති කාර්යාලය මෙයින් නැවත වරක් උපදෙස් ලබාදී තිබේ. නියමිත කාලය ඉක්මවා රැදී සිටීමේ දී, අදාළ ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් පිටවීමට පෙර ඕමාන් රාජ්‍යයේ අදාළ බලධාරීන් විසින් පනවනු ලබන අමතර රැදී සිටීමේ ගාස්තු ගෙවීමට යටත් වීමට සිදුවන බවද තානාපති කාර්යාලය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT