Tuesday, April 8, 2025
Home » මාධ්‍ය දැනුම ප්‍රවර්ධනයට වරලත් ආයතනයක්

මාධ්‍ය දැනුම ප්‍රවර්ධනයට වරලත් ආයතනයක්

-සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
January 21, 2025 1:07 am 0 comment

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකරදීම හා වෘත්තියට වටිනාකමක් එක්කරදීමට මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වන විට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජයන් කිහිපයක්ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව පැවැසූ ඇමැතිවරයා ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන්ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන්ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව පැවැසීය.

ජනමාධ්‍යවේදීන්ට සිය නිදහස, ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කරදීමත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අරමුණ කර ගනිමින් වසර පනහක් පමණ පැරණි 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත නව සන්නිවේදන ප්‍රවණතාවන්ට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාක්මක වූවත්, වර්තමානය වන විට එහි යම් යම් සංශෝධන සිදුවිය යුතු බව පෙනී ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මෙරට තුළ නීතිගරුක, මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරගත් පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යයන කටයුතු, සුභසාධනය, වෘත්තීය නිපුණත්වය ඉහළ දැමීම ආදී ක්ෂේත්‍ර සඳහා විවිධ වැඩසටහන් දීපව්‍යාප්තව සංවිධානය කළයුතු ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අංග සම්පූර්ණ අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මෙහි දී ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම දැනටමත් පුවත්පත් මණ්ඩලය පාසල් දරුවන්ට හා සන්නිවේදන විෂයට ළැදියාවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන විශේෂ වැඩමුළු මාලාව ද මනා සංවිධාන ව්‍යුහයක් යටතේ අඛ‍ණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තිරණය කරණු ලැබීය.

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, වත්මන් සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, නීතිඥ මහීෂා මුදුගමුව, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT