ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 66-5ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. නිත්තවෙල ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරු පැවති මේ තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 38-0 කින් පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයන් තරගය පුරා උත්සාහක දිනුම් 10ක් තැබීමට සමත්වීම කැපී පෙනුණි. ඉන් උත්සාහක දිනුම් 8ක්ම ගෝල බවට පත් කරනු ලැබුවේ හිරූෂ සම්පත් විසිනි. නැවියන්ට රැස් කිරීමට හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.
මේ අතර කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පැවති තරගයකින් සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-22ක ජයක් අත්කර ගැනීමට සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමත් විය. සීආර් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් එක්වූ අතර, සීඑච් පිලේ ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයකිනි. පළමු භාගය අවසන් වන විට ලකුණු 19-10කින් සීආර් පිල ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර එදිනම පස්වරුවේ රත්මලානේ පැවති තරගයේදී එක් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට ගුවන් හමුදා පිල සමත් විය. පළමු භාගය නිමා වන විට දෙපිලම ලකුණු 7 බැගින් ලබා සිටි අතර, තරගයේ ජය ගුවන් හමුදා පිලට හිමි වූයේ දෙවැනි භාගයේදී තියුණු සටනකින් පසුවය. ගුවන් හමුදා පිල තරගය පුරා ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර, පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාවට එක් වූයේ ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් පමණි.
6 වැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පනාගොඩ පැවති තරගය ලකුණු 29-18කින් ජය ගැනීමට හැව්ලොක් පිල සමත් විය. තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 5-3කින් පෙරමුණ ගැනීමට යුද හමුදා පිල සමත්වුවද, දෙවැනි භාගයේ සුපුරුදු දස්කම් අතරට පැමිණි හැව්ලොක් පිල ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් වාර්තා කළේය. යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් ඇතුළත් විය.