යාපනයේ සරුංගල් යවන තරුණයන්ගේ අවදානම් ක්‍රියා පිළිබඳව ආරක්ෂක අංශ හා සෙසු නිලධාරීන් දැඩි අවධානය යොමු කොට නීති රීති සකස් කළ යුතු බවට යාපනයේ වැඩිහිටියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
ඔවුන් එසේ ඉල්ලා ඇත්තේ නැවත වතාවක් යාපනයේ තරුණයකු සරුංගල් ලණුවක පැටලී ඉහළ අහසට ඇදී යෑමත් සමඟිනි. යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේදී පසුගියදා (17) සරුංගලයක් යවමින් සිටි තරුණයකු තවත් සරුංගල් ලණුවක පැටලීම හේතුවෙන් එම තරුණයා අඩි හැටක් පමණ උසකට ඇදී ගොස් තිබේ. තරුණයා ඉහළ අහසට ඇදී යෑමත් සමඟම විශාල පිරිසක් එම ස්ථානයට එක්රොක් වී තරුණයාට ජීවිතය ගලවා ගන්නා අන්දම ගැන විවිධ උපදෙස් දෙමින් කෑගසන්නට පටන් ගෙන ඇති අතර, ඔහු ලණුව සමඟ ඉහළ අහසේ පාවෙමින් සිටියදී විනාඩි හතරකට පමණ පසුව ලණුවේ මැද කොටස අසල වූ තල් ගසක පැටලීමෙන් පසුව තරුණයා ඉහළ අහසට ඇදී යෑම වැළකී ගොස් තිබිණ. ඒත් සමඟම නිසොල්මන් වූ ලණුව දිගේ තරුණයාට නිරුපද්‍රිතව බිමට බැස ගැනීමට හැකි වී තිබේ.
යාපනයේ ප්‍රමාණයෙන් ඉතා විශාල සරුංගල් යැවීම වසර ගණනාවක සිට සිදු වන අතර, ඒවාට නූල් වෙනුවට විශාල කඹ යොදා තිබීමත්, ඇතැම් සරුංගල් අහසට යැවීම පිණිස විදුලි මෝටර් සවි කිරීමත් සිදු කරයි. මීට වසර හතරකට ඉහතදී ද යාපනයේ තරුණයකු සරුංගලයක ලණුවක පැටලීම හේතුවෙන් අඩි හතළිහක් පමණ ඉහළ අහසට ඇදී ගිය අතර, විනාඩි පහකට පමණ පසුව ඔහු ලණුව අත්හැර බිමට පතිත වී තිබුණි. එහිදී ඔහුගේ පාදවල අස්ථි බිඳී මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදු විය.