මේ දිනවල ඇදහැලෙමින් පවතින අයහපත් වර්ෂාපතනය නිසාවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමඟ කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර එළුවන්කුලම වනජීවී ඒකකය සඳහන් කරයි.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔය ඔස්සේ ඝන අඩි 6000ක් පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යෑම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතින අයුරු දැක ගත හැකිවේ.
මේ හේතුව නිසාවෙන් මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බවයි වනජීවී නිලධාරින් සඳහන් කරන්නේ. ඒ අනුව දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සංචාරකයන්ට විල්පත්තුව නැරඹීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැඳින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙන බව ද පවසයි. නමුත් මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් සංචාරකයන්ට උද්‍යානය නැරඹීමට නොහැකිව යෑම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක් ද දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බව එළුවන්කුලම සෆාරි සංසදයේ රියැදුරු මහතුන් පවසයි.
දෙස් විදෙස් සංචාරකයන්ට විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා විවෘත කර ඇති පිවිසුම් දොරටු අතරින් ප්රමුඛස්ථානයක් හිමිවන්නේ එළුවන්කුලම පිවිසුම් දොරටුවටයි. එයට හේතුව ලෙස බොහෝ අය පෙන්වා දෙන්නේ, දෙස් විදෙස් සංචාරකයන්ට වනෝද්‍යානයට ඉක්මනින් ප්‍රවේශ වීමට ඇති කෙටිම මාර්ගය එය බවත්, මෙම උද්‍යාන කොටස තුළ දිවියන්, අලි ඇතුන්, වලසුන් සහ අනෙකුත් සතුන් පහසුවෙන් නැරඹීමට ඇති හැකියාව ද සපිරෙන බව ද ඔවුන් පවසයි.
මේ නිසාවෙන් දිනකට මෙම උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකුගෙන් අමෙරිකන් ඩොලර් 25ක් සහ එයට අදාළ බදු වශයෙන් තවත් ඩොලර් 10ක මුදලක් ලබා ගැනීම සිදු කරන අතර, මේ හේතුව නිසාවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් උපයන ස්ථානයක් බවට ද උද්‍යානය පත්ව තිබේ.