ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරිය සහ පිදුරංගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වසර ගණනාවක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වුවද යම් මට්ටමකින් එය නැවතී තිබුණද යළිත් ඒ ආකාරයටම සීගිරි පව්ව මෙන්ම පිදුරංගල පෙනෙන මානයේ අධිරක්ෂිතයේ වන සතුන් සිටින භූමි මේ ආකාරයෙන් දිනපතා අත්පත් කරගැනීම ගහකොළ වැල් සම්පූර්ණයෙන්ම කපා බිම දමා ඒවායේ කුඩා පොල් පැළ සිටුවා වගා කොට ඔවුන් සතු කර ගැනීම ජයටම සිදුවෙන බව ජනතාව පෙන්වා දෙති.
මෙම ජාවාරම සිදුවන ප්‍රදේශවලට කිසිම අයෙකුට ඇතුළුවීමට නොහැකි වන පරිදි විවිධ තැරැව්කරුවන් අතරමඟ යොදා මෙම ක්‍රියාවලිය සිදුකරමින් තිබෙන බවද පෙන්වා දෙති.
ප්‍රදේශවාසීන් ද මෙම ජාවාරම්කරුවන්ට දැඩි භීතියක් දක්වනු ලබන්නේ ඊට විරුද්ධව කතා කළහොත් ඔවුන්ගේ විවිධ හිරිහැරවලට ලක් වන නිසාවෙන් බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටින්නේ මෙම මහා පරිමාණ පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීම ගහකොළ කපා දැමීම සංචාරක හෝටල්වලට එසේ අල්ලා ගත් ඉඩකඩම් විකිණීම හේතුවෙන් ඒවායේ සිටින වනසතුන් වනඅලින් ගම් වැදී තම ජීවිතවලට තර්ජනය එල්ල කරන බවයි.
ප්‍රදේශවාසීන්ට හෝ රජයට බලධාරීන්ට වනජීවී නිලධාරීන්ට වන සංරක්ෂණ බලධාරීන්ට ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ට වත් ගමන් කිරීමට නොහැකිව තිබූ මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම ක්‍රියාත්මක වන ප්‍රදේශයට අප ඉතා සූක්ෂ්ම ලෙස ඉකුත් 17 වැනිදා සවස ඇතුළු වූයේ රහසිගතවය.
සීගිරි පව්ව සහ පිදුරංගල පව්ව ඉතා හොඳින් දර්ශනය වන උඩවලයාගම, පිදුරංගල ප්‍රදේශයට අප යන විටත් අක්කර පහළොවක් විස්සකට අධික ඝන කැලෑව සම්පූර්ණයෙන්ම කපා ගහ කොළ වැල් බිම දමා තවදුරටත් ඒවා කපමින් තිබූ අයුරු අපගේ ජංගම දුරකතනයකින් වීඩියෝ කර ගැනීමට හැකි විය.
මෙම මහා පරිමාණ ඉඩම් ජාවාරම්කරුවන් සීගිරිය අවට විශාල වශයෙන් කපා විනාශ කොට ඇති ගස් කොළන් තැන තැන වැටී තිබෙන අයුරුද ගිනි තබා තිබෙන අයුරුද අප ගමන් කරන මොහොතේ දී කපා දමා තිබූ ගස් ද දැක ගැනීමට හැකි විය. ඔවුන් පළමුව හේන් වගාවක් සිදුකොට දෙවනුව ඒවාට නීති විරෝධී ආකාරයට බලපත්‍ර හෝ කඩදාසි සකසා සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා විශාල මිල යටතේ අලෙවි කිරීම සිදුකරගෙන යනු ලබයි.
එමෙන්ම සීගිරිය පව්ව අවට විශාල වැව් ප්‍රමාණයක් පවතී. එම වැව් ඉස්මත්ත ඇති ගස්කොළන්ද කපා පුලුස්සා සහ ඉඩම් අත්පත් කර ගැනීම සිදුවෙමින් පැවතීම විශේෂත්වයෙකි. සීගිරි ගල සහ පිදුරංගල ඔවුන්ගේ ඉඩම්වලට දර්ශනය වීම සඳහා එම ප්‍රදේශයේ ඇති රූස්ස ගස් මුදුන කපා ගිනි තබා විනාශ කිරීමටද මෙම ජාවාරම්කරුවෝ පසුබට නොවී ඇති අයුරු අපට දැක ගැනීමට හැකි විය. අභයභූමියේ සිටින පක්ෂීන් සහ අනෙකුත් සතුන් මේ හේතුව නිසා අසරණ වී තිබෙන අයුරු ද අපට දැක ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
සීගිරිය ප්‍රදේශයේ පාරම්පරිකව ජීවත්වන ජනතාව සඳහන් කර සිටින්නේ තමන් වනඅලින්ගේන් නිරන්තරයෙන් බැට කන බවයි. මෙම ජාවාරම් සහ වනය හෙළි කිරීම් පිළිබඳව කතා කිරීමට තොරතුරක් ලබා දීමට ඔවුන් දැඩි මැළිකමක් දක්වනු ලබන්නෙ තර්ජන ඇති නිසාවෙනි. කෙසේ වෙතත් අතීතයේ තිබුණු වන ළැහැබ සියල්ල මේ වන විට වනයට අහිමි වීම නිසා වනසතුන්ගෙන් ජනතාවට කරදර ඇති වන බව සීගිරියේ පාරම්පරික ජනතාව පෙන්වා දෙති.
මෙම මහා පරිමාණ ජාවාරම් පිළිබඳව සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද මහතා දැනුම්වත් කිරීමට අප එම කාර්යාලයට ගියවිට ඒ මහතා නඩු කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩට ගොස් තිබිණි. පසුව ඔහු එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ බවත් දැනටමත් වනය කපා විනාශ කොට ඉඩම් අත්පත් කර ගැනීම් සිදුකරමින් පවතින්නේ සීගිරිය අභයභූමියේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමිවල බවත් සනාථ කළේය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාට ද අප මේ පිළිබඳව දුරකතනය හරහා දැනුම්දීමෙන් පසුව සඳහන් කළේ සීගිරිය අභයභූමියට අයත් එක් පසෙක ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී තිබුණු බවත් ඒ අනුව නීත්‍යනුකූල පියවර ගැනීමට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටින්නේ ඉකුත් 17 වැනිදා පස්වරු හතර වනවිටත් ජාවාරම්කරුවන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මහා වනය, අභයභූමිය, රජයේ ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මහ කැලෑව හෙළි කරමින් වැටවල් ගසමින් සිටින බවයි.
කෙසේ වෙතත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී එස්.එස්. මලින්ද මහතා සඳහන් කළේ, සීගිරිය අභයභූමියේ පෞද්ගලික සහ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ඕනෑ තරම් පවතින බවයි. එම සියලුම දෙනා යම්කිසි ඉදිකිරීමක් හෝ කුමන කටයුත්තක් සිදු කිරීමේ දී අනිවාර්යයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා ගත යුතු බවය.