ගොවීන් රජයේ වී ගබඩාවලට ලබාදෙන වී සඳහා සහතික මිලට අමතරව එක වී කිලෝවකට රුපියල් දෙකක මුදලක් රජය විසින් ලබා දෙන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පවසයි.
මේ පිළිබඳව ගොවීන් අවධානය යොමු කර, රජයේ වී ගබඩාවන් වෙත තම වී තොග ලබාදෙන ලෙසත් හාල් මාෆියාවට තිත තැබීමේ කටයුතු සඳහා දායක වන ලෙසත් නියෝජ්‍ය ඇමැතිවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙසේ ලබා ගන්නා සහල් තුට්ටු දෙකට නොවිකුණන බවත් ඒවා සහල් කර පාරිභෝගිකයා සඳහා සහන මිලකට ලබාදෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි. ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය සැලකිල්ලට නොගෙන නිෂ්පාදන පිරිවැය සාදන අතර එම නිෂ්පාදන වියදමින් තුනෙන් එකක් එකතු කර වී සඳහා සහතික මිල නියම කරන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ වී අලෙවි මණ්ඩල පනත සඳහා ද යම් යම් සංශෝධන ඉදිරියේ දී සිදු කෙරෙන බවයි. 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත මඟින් වී අලෙවි මණ්ඩලයට පැවරුණු බලතල නිසියාකාරව ක්‍රියාත්මක කරන්නට රජය තීන්දු ගෙන ඇති බවත් ඒ පනත මෙතෙක් අකර්මණ්‍යව තිබූ බවත් පෙන්වා දෙන නියෝජ්‍ය ඇමැතිවරයා එම පනත ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා වන පරිදි සංශෝධනය වනු ඇතැයි ද අවධාරණය කරයි.