“මට තරුණ පරම්පරාවක් පමණක් දෙන්න, මම මුළු ලෝකයම පරිවර්තනය කරමි.” – විලැඩ්මීර් ලෙනින්
****
දන්නව ද ? ජීවිතය කියන්නෙත් ඉලක්කමක්
රටම දන්න අතළොස්සක් අතර ඔයත් එක කෙනෙක් නම් ඔබ විශේෂයි. නමුත් සමස්තයක් විදිහට අපි හැම කෙනෙක්ම රට හඳුනන්නේ අංකයක් විදිහට. ඒ අපේ ජාතික හැඳුනුම්පතේ අංකය. කාර්යාලයකට, බැංකුවකට, වෙනත් තැනකට ගියාම අපේම අනිත් අයගෙන් වෙනස් කරලා අඳුර ගන්නේ ඒ අංකය. රැකියාව කරන තැන අපේ නම වගේ සමාන නම් තියෙන ගොඩක් අය ඉන්නවා ඇති. ඒ නිසත් අපි වෙන් කරලා අඳුරගන්න අපිට රාජකාරි අංකයක් දෙනවා. රටකින් රටකට යනකොට පාස්පෝට් අංකයක් දෙනවා. ලෝකෙ කොතැන ගියත් අපිව අඳුර ගන්නේ ඒ අංකයෙන්.
ලෝකෙට, රටට, හැම තැනකම, කොතැන කොයි විදියට හිටියත් බලාගෙන ගියහම අපි එක අංකයක් විතරයි.
හැබැයි එතැනින් එහාට ගිය වටිනාකමක් ඔයා ගැන ඔයාට තියෙනවා. මගේ ගැන මට තියෙනවා. ඔයා, මම කවද හරි නැති වුණත් රටට එක අංකයක් නැති වෙනවා, ලෝකෙට එක අංකයක් නැති වෙනවා, කාර්යාලයට එක අංකයක් නැති වෙනවා. හැබැයි, ඒ හිඩැස ඉක්මනට තව කවුරු හරි පුරවයි.
හැබැයි ඔබට ඔබ නැති වුණොතින් එහෙම ද? මට මාව නැති වුණොත්, මට නැතිවෙන්නේ මගේ හැමදේම. ඔබට ඔබ නැති වුණත් නැතිවෙන්නේ ඔබේ හැමදේම. ඒ හින්දා අපේ වටිනාම දේ අපි වෙන්න ඕනේ. අපිට තියෙන වටිනාම දේ අපි වෙන්න ඕන. අපි වැඩියෙන්ම ආරක්ෂා කරගන්න ඕන, අපි වැඩියම ලස්සන කරගන්න ඕනේ අපිවයි. අනිත් හැම කෙනෙකුටම, අනිත් හැම තැනකටම අපේ වටිනාකම තියෙන්නේ එතැනින් එහා තැනක. ඒ නිසා ඔබට ඔබ නැති වෙන්න දෙන්න එපා.
තිළිණ ගාල්ලගේ
****
ඇත්තම එකා ඉන්නෙ fake profile එකේ..
වීරයෝ ගැන කිවුවම අපිට පුංචි කාලේ කියලා දෙනවා ජාතික වීරයෝ ගැන. හැබැයි පස්සේ කාලෙක අපි ස්වාධීනව හිතන්න ගත්තම අපි වීරයෝ මාරු කරනවා අපිට ඕන විදිහට. පොඩි කාලේ පොත්වල දකින වීර පුරන්අප්පු. මද්දුම බණ්ඩාර, කැප්පෙටිපොල වගේ වීරයෝ වෙනුවට තරුණ වෙනකොට බොබ් මාලේ, චේ ගුවේරා වගේ අය Replace වුණා. තවත් කියවීම වැඩි වුණාම ජිජැක්, ඩෙරීඩා වගේ අය වීරයෝ වෙනවා. වීරත්වය කියන එක එහෙම හුවමාරු වෙන යුගයක් ඒ කාලේ තිබුණා.
ඒත් දැන් එහෙම තමන්ගේ වීරයා තමන්ට හොයාගන්න අවස්ථාවක් නෑ. පුද්ගල අයිතීන් සියල්ල තමන් මත පටවාගෙන ඉන්න Media විසින් නිර්මාණය කරලා පෙන්වන වීරයා අපිට අපේ වීරයා බවට පත් කරගන්න වෙනවා. නැත්තං නිකං අපි සමාජයෙන් කොන් වුණා වගේ සීන් එකක් තියෙන්නේ. කිසිම reading එකක් නැතුව Media එක කියන ඕනම වීරයෙක් අපේ වීරයෙක් කරගන්න අපිට සිද්ද වෙනවා. මේ වෙනකොට මේ වීරයා නිර්මාණය කිරීමේ කාර්යය වැඩිපුරම කරන්නේ Social media එක. ෆේස්බුක් එකේ කාලෙන් කාලෙට දවසින් දවසට විවිධ වීරයෝ නිර්මාණය කරනවා. මේ වීරයින් නිර්මාණය කරන වැඩේ හරි භයානක එකක්. මොකද සමාජය ගැන කිසිදු කියවීමකින් තොරව ට්‍රේන්ඩ් එකට වීරයෝ බිහිකරන ක්රිැයාවලියක් දැන් සිදු වෙන්නේ.
මොකද දැං Social media මෙහෙයවන්නේ සමාජය ගැන reading එකක් තියෙන අය නෙවෙයි. ඒක එයාලගේ වැරැද්දක් නෙවෙයි. සිස්ටම් එකේ අවුලක්. මොකද අපි දන්නවා 70 – 71 වගේම 88- 89 අවුරුදුවල දකුණේ කැරැල්ලෙන් සහ අවුරුදු 30ක් විතර තිබුණු උතුරේ කැරැල්ලෙන් මැරුණු තරුණ පරපුර තමයි සමාජයේ හොඳම Spirit එක. මොකද සමාජ අසාධාරණයට එරෙහිව නැඟිටින්නේ සමාජය ගැන හොඳ reading එකක් තියෙන උන් මිසක් ගොබ්බයෝ නෙවෙයි. එහෙම සමාජය ගැන reading එකක් තිබ්බ උන් උතුරින් සහ දකුණින් මතුවුණාම උන්ව මරලා දැම්මා. ඒ එක්ක සමාජයට නායකත්වය දෙන්න වුණේ අර සමාජ අසාධාරණයට එරෙහිව නැඟිටින්නේ නැතුව මුලුගැන්විලා හිටපු උන්ට. උන්ට සමාජය ගැන මෙලෝ reading එකක් නෑ. උන් හදන අධ්යාඟපන, දේශපාලන, ආර්ථික ප්ර්තිපත්ති මත තමයි මේ සමාජය නිර්මාණය වෙන්නේ.
මේ ගන්ධබ්බ සමාජයේ නිෂ්පාදන වන තරුණ පරපුර තමයි මේ Social media මෙහෙයවන්නේ. ඒ අතරින් අති මහත් බහුතරයක් සමාජය ගැන මෙලෝ හැදෑරීමක්, කියවීමක් නැතුව තමයි Social media කරන්නේ. මේක ඇත්තටම අර වඳුරාට දැලි පිහිය අහුවුණා වගේ වැඩක්. මොකක් හරි පින්තූරයක් දැක්ක ගමන් තමන්ගේ Page එකේ Reach එක වැඩිකරගන්න Share කරනවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ. එකෙන් වෙන්නේ බරපතළ සමාජීය හානියක් වෙන්න පුළුවන්. ඒත් අවුලක් නෑ. එකෙන් වෙන්නෙත් Page එකේ Reach එක වැඩි වෙන එක නම් ඕන බොරුවක් වුණත් කමක් නෑ දානවා.
ඇත්තටම මේ ෆේස්බුක් එකේ චණ්ඩි පාට් දාන බුකි වීරයෝ ටික අපිට මහ පාරෙදි මුණ ගැහෙනවා නම් මේ රට කොයි තරම් සුන්දර වෙයිද ? ෆේස්බුකේ සත්ව කරුණාව, මනුෂ්‍යහත්වය, මානව දයාව, පරිසර හිතකාමීත්වය අපිට මහ පොළොවේ යථාර්ථයක් වෙනවා නම් අපි හරි ඉක්මනින් දියුණු රටක් බවට පත් වෙනවා. නමුත් අවුල තියෙන්නේ ඔය අනුන්ගේ දුක දැකලා ඇඬෙන කොමෙන්ට්ස් දාන අයම තමයි “අරයාගේ ලීක් වුණ එක” “මෙයාගේ වීඩියෝව” හතර වටේටම Share කරගෙන බලන්නේ. Real Profile එකේ ඉන්න එකා නෙවෙයි සැබෑ පුද්ගලයා. සැබෑ පුද්ගලයා ඉන්නේ Fake Profile එකේ. මේ නිසා වර්තමානයේ කවුරු හරි ඇහුවොත් භයානකම ආයුධය මොකක් ද කියලා මම කියන්නේ Social media එක කියලා.
අරවින්ද ඉන්ද්‍රජිත්
****
නොකර කිරීමේ කලාව හෙවත් කම්මැළි ගොවිතැන
අපගේ ඉඩම් කොටස පර්චස්වලින් ගතහොත් පහළොවකි. පාරවල් දෙකක් එල් හැඩයට දෙපැත්තෙන් ඇති අතර පිටුපස කොටස ක්‍රීඩා පිට්ටනියකි. ඉදිරිපස පාරෙන් එහා පැත්තේ පන්සල ය. පිටුපස තවත් ගෙයක් පිහිටා තිබේ.
මා, මෙහි මේවා පිහිටා ඇති ආකාරය සඳහන් කළේ වෙන කිසිවක් සඳහා නොව පුංචි ඉඩමේ ඇති මා වගා නොකළ නොසිටවූ නමුත් මඳ පමණින් රැකබලා ගත් ගස් සමූහය ගැන සඳහනක් කිරීමටය.
අවුරුදු තිස් පහක් විතර පැරණි කොස් ගසක් ළිඳ සමීපයේ ඇත. කාලයකට විශාල කොස් ගෙඩි ප්‍රමාණයක් සෑදේ. ඒවා වරකා වී බිමට වැටෙන අතර කොස් ඇට බොහෝ විට ආහාරය සඳහා පිළියෙල කර ගනිමි. පොළොස්, වරකා හා කොස් ද, ඇතුළුව ආහාර සඳහා සපයා ගනියි. මෙම කොස් ගස අසල අවුරුදු හතළිහක් පමණ පැරණි දෙල් ගසක් ද තිබේ. එහි ගෙඩි වර්ෂයකට දෙමුරයක් නෙළාගෙන විකුණා දමන අතර ආහාර හා බෙදා දීමට ඉතිරිවා විටින්විට යොදා ගනිමි. මෙම ගස් දෙකෙන් දෙල් ගස අපගේ කිරි අම්මා සිටවූවක් වූ අතර කොස් ගස ඉබේ පැළවී තිබිණි. කිසිවකු එය කපා නොදැමූ අතර වතුර, පොහොර ද රැක බලා ගැනීම ද නොකළෙමි. ඒ අසලම පුවක් ගස්. ලොකු පුවක් ගස් තුනක් හා පුවක් පැළ පහක් තිබේ. ඊට එහා පැත්තේ අවුරුදු හතළිහක් විතර පරණ දිවුල් ගසක්, පොල් අඹ ගසක් හා නෙල්ලි ගසක් ද තිබේ. මේවා සිටවනු නොලැබූ අතර පොල්, අඹ ගස පමණක් සිටවනු ලැබිණි. ඊට ඉදිරියෙන් තේක්ක ගසකි. එයට අවුරුදු විස්සක් පමණය. එළියේ වැසිකිළිය පිටුපස පොල් ගසකි. පොල් ගස ඉදිරිපස තිබූ ගස් ගොන්නක් හා විශාල පැෂන් වැලකි. පැෂන් වැල ඇප්රිකට් ගසට ගොස් ඇත. ඇප්රිකට් ගස ද සිටවනු ලැබූවකි. කටු කුරුඳු, කාමරංගා, පැපොල් ගස් තිබේ.
මා, ඉතා අලස ලෙස වැටෙන කොළ ගස් මුලට අතුගා දමන අතර කජු පැළ මුලට හා කොහේ හෝ ගස් මුලකට වැටෙන කොළ තල්ලු කර හරින අතර ඒවා වැස්සට තෙමී දිරා යන අතර බල්ලා විසින් පහරන ලද මල ඒවා උඩට දමා පස් ටිකකින් වසා දමයි. නොදැනීම කිසිවක් විශේෂයෙන් නොකරමි. විශාල ගස් සමූහයකට පොහොර හා තෙතමනය සපයා, ගස් වැඩීමට අවශ්‍ය පරිසරය ඉබේම සැකසී ඇත.
වැට දිගට වැඩුණු ඉද්ද හා ඇට්ටේරියා වැටත්, එල් හැඩයට ගස් විස්සක්, තිහක් පමණ ඇත. මේ අතරින් නමින් නොදන්නා තද කොළ පාට පත්‍ර මහත, ඉතා මිටි ශාකවලින් වසාගෙන ඇති අතර මට සුද්ද කිරීමට සිදුවන හානිකර ශාක නොවැඩීමට සිදුවන නිසා මා සිටින්නේ සතුටිනි.
නිෙවස ඉදිරිපිට අඟුණකොළ වැල් තුනක් පැළවී ඇත. එකක් විශාල හා පරණය. එක වැලක් ඇඹුල් දොඩම් ගස වසාගෙන ඇත. අනෙක් අඟුණකොළ වැල නිෙවස ඉදිරිපස පාර අයිනේ ඇති බේත් නෙල්ලි ගසට ගොස් ගේට්ටුව දිගේ වැටී ඇති නිසා කොළ කඩා ගැනීම ඉතා පහසුය. ආහාරය වැඩි මහන්සියක් නොමැතිව කොළ සපයාගත හැකි අතර කිසිඳු නඩත්තුවක් නොකෙරේ. ඒ අයිනේ නිෙවස ඉදිරිපස තිබ්බටු ගස් දෙකක්, කුරුල්ලෝ පැළ කර වැටී ගෙඩි සපයා දෙයි. වැටෙන කොළ ඈතට අතු ගා යෑම අපහසු හා කම්මැළි නිසා තිබ්බටු ගස් වටේට දමා ඇත. ඒවා පොහොර වී අපට ආහාරයට තිබ්බටු සපයා දෙයි.
වෙළෙඳසල පිටුපස කෙසෙල්, කාමරංගා, අනෝදා, රට නෙල්ලි, අඹ ගසක්, කටුකුරුඳු, දෙහි ගස්, ලෙමන් ගස් හා පාවට්ටා තෙඹු ගස් ගොන්නක්, ඉද්ද මල් ආදී මල් වර්ග ඇත. තවත් මා නොදන්නා නමුත් අම්මා පාවිච්චියට ගන්නා විශාල බෙහෙත් පැළ ගස් සමූහයක් ඇත. මේවා තිබෙන පැත්තට මා යන්නේ හෝ ගෙදර අනෙක් අය යන්නේ කොළයක්, ගෙඩියක්, බේත් කොළ ටිකක් කඩා ගැනීමට පමණි. මේ කොටසට ගමේ අය කියන්නේ කැලය කියා ය.
පුවක් ගෙඩියක් අහුලා ගැනීම, කොළ අතර ඇති පුවක් අවුස්සා නොසොයන අතර, නොදැනීම ඒවා පැළවී ගස් බවට පෙරළේ. වවුලන් ගෙනත් දමන පුවක් ගෙඩි ද, ඒ අතර තිබේ. ගෙනත් දැමූ කජු ගෙඩි තුනක් පමණ වතුර ටැංකිය උඩට වැටී තිබේ. එයින් එකක් පැළවී තිබෙනු දැක උදැල්ලෙන් බිමට පහරක් ගසා කජු ගෙඩිය දමා පැළ කළෙමි. දැන් සෑහෙන කජු පැළයකි.
කිසිවක් නොකර පරිසර ක්‍රියාකාරීත්වයට ඉඩ දී බලා සිටීම තුළම අපට අවශ්‍ය ගොඩක් පෝෂණ අවශ්යකතා ඉතා පුංචි ඉඩකින් ලබාගත හැකිය. අඟුණකොළ, පැෂන් කොළ, ජපන් බටු, අනෝදා, ඇඹුල් දොඩම්, කාමරංගා, නෙල්ලි, කෙසෙල්, තෙඹු කොළ, ඇප්රිකට්, වැල් අනෝදා… ආදී බොහෝ කොළ දෙල්, කොස්, පලතුරු ඉබේම නොසිටවා ලබා ගැනීම කලාවකි. මෙම කලාව නිසොල්මනේ අධ්‍යයනය කළ විට ඒ සඳහාම චර්යා ඇති වී මෙම පරිසරය සමඟම ඒකාත්මික වේ.
තමා තමාවම රවටා ගැනීමේ කලාවෙන් මිදී කම්මැළි ගොවිතැනෙහි නිරත වීමෙන් මනස සේම ශරීරය ද සුවපත් වේ.
චමින්ද හේ. කුමාර
****
අලි එළවන YOUTH එක
ජීවිතේ හරිම පුදුමාකාරයි….. ගොඩාක් Young අය කැමැතියි ජීවිතේ බොහොම විනෝදෙන්, සැහැල්ලුවෙන් ගත කරන්න. ඒත් එකම රටේ, එකම වෙලාවෙ තැන් දෙකක තාරුණ්යිය දෙආකාරයකින් ගතකරනවා. එක පැත්තක, තරුණයො තරුණියො ජීවිතේ මල් කියල හිතල Fun ගන්නකොට. තවත් පැත්තක, තරුණයො, තරුණියො ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා.
එක පැත්තක කට්ටිය රෑ එළිවෙනකන් FB එකේ, Twitter එකේ සිහින අතරෙ ඉන්නකොට, තවත් පැත්තක කට්ටිය රෑ එළිවෙනකන් ගහක් උඩ හරි, ගලක් උඩ හරි ඉන්නව තමන්ගෙ පියවි ලෝකෙ පණ බේරගන්න.
එක කට්ටියක් තමන් ළඟ නිතරම Phone එක, Tab එක තියාගන ඉන්නකොට. අනිත් කට්ටිය ළඟ තියෙන්නෙ රතිඤ්ඤා, වෙඩිබෙහෙත්.
එක කට්ටියක් අලුතින් එන Trance release එක එනකන් බලාගෙන ඉන්නෙ නටන්න, තව කට්ටියක් අලින්ගෙ කුංචනාදය එනකන් බලාගෙන ඉන්නෙ දුවන්න.
එක කට්ටියක් තමන්ගෙ අනාගත Job එක ගැන, අනාගත vehicle එක ගැන සිහින මවනකොට, තව කට්ටියක් තමන්ගෙ වගාව, ගෙදර බේරගන්නෙ කොහොමද බලනවා. එක කට්ටියක් තමන්ගෙ ආශාවන් ඉෂ්ට කරගන්න Boyfriend, Girlfriend පස්සෙ දුවනකොට, අනිත් කට්ටිය තමන්ගෙ ජීවිතේ රැකගන්න අලි පස්සෙන් දුවනවා.
එක පැත්තක කට්ටිය Fun එකට cine world එකේ Scifi චිත්‍රපටි බලනකොට, අනිත් කට්ටිය real world එකේ Thriller, Adventure අත්දැකීම් ලබනවා.
එක පැත්තක Young කට්ටිය දේශපාලකයන්ගෙන් Free Wifi, Jobs ඉල්ලනකොට, අනිත් පැත්තෙ අය දේශපාලකයන්ගෙන් ඉල්ලන්නෙ අලි වැටක්, අලි වෙඩි ටිකක්.
ඉතින් අලි එළවන YOUTH ජීවිතේ හරිම පුදුමාකාරයි නේද?
පැතුම් රත්නායක
****
හිතට එන දේවල් හිතේම ලියල තියාගන්නේ නැතුව යෞවනයේ y වාරණ පිටුවට ලියල එක්වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. මේ පිටුව යෞවනයට වුණත් අවුරුදු 16 ගතින් තරුණ පරම්පරාවටත් අවුරුදු 80වේ අදහස්වලින් පිරුණු තරුණ පරම්පරාවටත් මේ පිටුව විවෘතයි. ඉතින් ඔබේ ලිපි, නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.
ලිපිනය – අංක 35,
ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.
kavi.dinamina@lakehouse.lk