වෛද්‍ය ගැටලු සහ උපදෙස්
ඇදුම ආයෙත් ඇවිත්
මම කුඩා කල සිටම ඇදුම තත්ත්වයෙන් පෙළුණත් ඉකුත් අවුරුදු 10ක පමණ කාලයක් එය සම්පූර්ණයෙන්ම සුව විය. මට දැන් වයස 44කි. මේ වනවිට විවාහ වී කෙටි කාලයක් වන මා හට නැවතත් ඇදුම රෝගය මතුවිණ. එසේම, ඉකුත් අඩ මසක පමණ කලෙකදී මා වයිරස් උණත් සහ නිව්මෝනියා තත්ත්වයෙන් ද පෙළිණ. එහිදී එක් පෙණහැල්ලක තුවාල ඇතිවී තිබෙන බව දැනගන්නට ලැබිණ. මා කුමක් කළ යුතු ද?
මිනුවන්ගොඩ – අමිතා
පිළිතුර
ඇදුම සෑදී කලෙකින් සුව වුණත් යළි මතු වීමේ ප්‍රවණතාවක් තිබේ. මුලින්ම රුධිර පරීක්ෂාවක් සහ x -ray පරීක්ෂාවක් කළ යුතු ය. එවිට එහි ශේතානු කොටස 10ට වැඩි වී, TSR කියන රුධිර පරීක්ෂාව ද 25ට වැඩි නම් පෙණහැල්ලට විෂබීජයක් ඇතුළු වී තිබිය හැකිය. මෑතකාලීනව නිව්මෝනියා තත්ත්වයත් පැවතියේ නම්, x -ray එකක් ගැනීම අනිවාර්ය වේ. ඇදුම රෝගය තියෙන අය බල්ලන්, පූසන් වැනි සතුන් ඇති කිරීම සුදුසු නොවේ. එමෙන්ම, ආතතිය නිසාත් නිතර ඇදුම රෝගය ඇති විය හැකියි. ඔබට මානසික විවේකය මෙන්ම ශාරීරික විවේකයත් වැදගත්. ඇදුම සඳහා බොහෝ දෙනකු ඉන්හේලර් පාවිච්චි කරයි. ඉන්හේලර් බෙහෙත් වර්ග කිහිපයක්ම පවතියි. උදේ සවස ගන්නා ඉන්හේලර් වගේම එම රෝගය උග්‍ර අවස්ථාවකදී ලබා ගන්නට වෙනම ඉන්හේලර් ආදියත් පවතියි. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර අරඹන්න.
ඇඟ පුරා කළු ලප
මම වයස 27ක තරුණියක්. මගේ ශරීරයේ තැනින් තැන බිබිළි හට ගත් අතර දින කිහිපයක් ගතවනවිට ඒවා කළු පැහැයටත් හැරිණ. පෙනුමෙන් එය පැපොල රෝගයට සමානය. මම මෙයින් දැනට වසරක පමණ කාලයක සිට පීඩා විඳිමි. මා කිහිප සැරයක් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත්ත ද එම ඖෂධ අවසන්වන විට යළිත් බිබිලි හට ගැනිණි. එම බෙහෙත්වලට විශාල මුදලක් යන නිසා මා හට එලෙස දිගටම ප්‍රතිකාර කිරීමට ද අපහසුය. මේ තත්ත්වය නිට්ටාවටම සුවකර ගත හැකි ක්‍රමයක් තිබේ ද?
කිතුල්ගල – ශානි
පිළිතුර
ඔබේ විස්තර කිරීමෙන් බිබිළිවල ස්වාභාවය ගැන හරි අවබෝධයක් ලබාගත නොහැකි නිසා නිසි උපදෙසක් දීම අපහසුය. ඇතැම්විට මෙය සිරුරේ උෂ්ණය පිටවීමක් හෝ නැතිනම් මෙය වෙනත් චර්ම රෝගයක් වීමට ද පුළුවන. එබැවින් වෛද්‍යවරයකුට පෙන්වීමට පමා නොවන්න.
කෙට්ටු වන්නේ සීනිවලට ද?
මම වසර පහක සිට දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවක්. වයස 43යි. දෙදරු මවකි. මේ කාලය තුළදී මාගේ ශරීරය බොහෝ සෙයින් කෙට්ටු වුණා. දැන් වයසට වඩා වැඩි පෙනුමක් මා තුළින් දිස් වෙනවා. මාගේ පෙනුම යථා තත්ත්වයට පත් කර ගන්නේ කොහොම ද? පෙනුම ගැන සිතා ආහාර ලබා ගත්තොත් දියවැඩියාව උග්‍ර අතට හැරෙයි ද?
අනුරාධපුරය – ඉනෝකා
පිළිතුර
පළමුවෙන්ම ඔබගේ දියවැඩියාව පාලනය වී ඇති දැයි බැලිය යුතු ය. එයට මේ පරීක්ෂණ කර බලන්න. Fasting blood suger. එය 120ට අඩුවෙන් තිබිය යුතු ය. HBA1C එය 7 ට හෝ 7ට පහළින් තිබිය යුතු ය. මේ පරීක්ෂණ දෙක සාමාන්‍ය නම් ඔබගේ ඇඟ කෙට්ටු වීමට වෙනත් හේතුවක් තිබිය යුතුය. එයට ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි දැයි පරීක්ෂා කළ යුතු ය. එයට TSH පරීක්ෂණය කරන්න. TSH පරීක්ෂණය සාමාන්‍ය නම් මේ තත්ත්වය ඇතිවීමට වෙනත් හේතුවක් තිබිය යුතු ය.
කොයිවෙලාවෙත් කරකැවිල්ල වගේ
මා වයස 29ක කාන්තාවක්. වයස අවුරුදු 2ක දියණියක් සිටියි. ස්වාභාවික ආකාරයට දරු ප්‍රසූතිය සිදු විය. දරුවා ලැබෙන්න ඉන්න කාලයේදී නිතර නිතර ක්ලාන්ත ස්වාභාවයක් තිබුණා. හිමොග්ලොබින් මට්ටම අඩු බව ඒ අවස්ථාවේදී මා හට දැන ගන්නට ලැබුණා. නමුත් තවමත් ඇතැම් අවස්ථාවන්වලදී ක්ලාන්ත ගතිය පවතියි. කිසිදු වැඩක් කිරීමට නොසිතේ. මෙසේ වන්නේ හිමොග්ලොබින් ගැටලුවක් නිසා ද?
කඩුවෙල – නිශාධි
පිළිතුර
ඔබගේ දැනට පවතින හිමොග්ලොබින් මට්ටම කොපමණ දැයි සඳහන් කර නොමැත. ඔබගේ වයසේ හැටියට හිමොග්ලොබින් මට්ටම 12.5ක් හෝ 13ක්වත් තිබිය යුතු ය. හිමොග්ලොබින් මීට වඩා අඩුනම් එසේ වීමට හේතුවක් තිබිය යුතු ය. එයට full blood count කියා පරීක්ෂණයක් ඇත. එය කිරීමෙන් ඔබගේ හිමොග්ලොබින් අඩු වෙන්නේ යකඩ ඌණතාවකින් ද නැතිනම් B12 හෝ ෆෝලික් විටමින් පදාර්ථ ඌණතාවකින්දැයි කියා බැලිය යුතු ය. යකඩ ඌණතාවක් නම් NCB කියා හිමොග්ලොබින් වාර්තාවේ ඇති කොටස 75ට අඩු ය. B12 4 ෆෝලික් අම්ලය ඌණතාවක් නම් HCD මට්ටම 90ට වැඩි ය. ඒ සමඟ යකඩ ඌණතාවක් නම් ඔබට මාසික ඔසප් වීම සිදුවනවිට වැඩියෙන් ලේ වහනය වනවා දැයි සොයා බැලිය යුතු ය. එසේනම් ඒ සම්බන්ධ විශේෂඥවරයකු හමු වන්න. ඒ වගේම ඔබට මලපහ සමඟ රුධිරය පිටවන්නේ ද නැතිනම් කළු පාටට මලපහ පිටවන්නේ ද කියා විමසිලිමත් වන්න. මේ ලක්ෂණ ඇතිනම් එය ශල්‍ය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගන්න.
නිතර ඇතිවන හිසරදය
මා පාසල් සිසුවියක්. ලබන වසරේදී උසස් පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටිමි. දැනට මාස තුනක පමණ කාලයක සිට සවස් වන විට මා හට දැඩි ඔළුවේ කැක්කුමක් හට ගනී. එයට ප්‍රතිකාර ලබා ගත්තත් තවම සුවයක් නැත. මෙය මාගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධාවක් වී ඇත. මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් තිබේ ද?
පැපිලියාන – සචිනි
පිළිතුර
ඔබගේ හිසරදය බොහෝ වෙලාවට උසස් පෙළ වගේ විභාගවලට පෙනී සිටින සිසු සිසුවියන්ට තියෙන ප්රශ්නයකි. තරගාකාරී විභාගවලට මුහුණ දෙනවිට ඒ පිළිබඳව ඕනෑවට වඩා හිතන්න ගන්නවා. ඒ නිසා හැදෙනවා tension headache සහ මිග්‍රේන් කියන ඔළුවේ කැක්කුම් දෙක. මේ සම්බන්ධව ප්‍රතිකාර ගැනීමට පෙර ඔබගේ ඇස් පරීක්ෂා කර බලන්න. ඇස්වල ආබාධයක් තියාගෙන පාඩම් කළොත් ඔළුවේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පීනස රෝගය තිබේ දැයි බලන්න. ඒකත් ඔළුවේ කැක්කුම හැදෙන්න හේතුවක්. මේ තත්ත්වයේදී ඔබට අඩුම වශයෙන් පැය 6කවත් නින්දක් අවශ්‍යයි. ප්‍රතිකාර ගැනීමෙන් පසුත් සුවයක් නොමැතිනම් CT ස්කෑන් වැනි පරීක්ෂණ කිරීම අවශ්‍යයි.
උපදෙස් -කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ
විදුමිණි දිසාකරුණා
****
විෂාදය ගැන ඔබ දැනුම්වත් ද?
පුද්ගලයන් 04 දෙනකුගෙන් එක් අයකුට මානසික රෝගී තත්ත්වයක් තිබෙන බවක් නවතම සමීක්ෂණ වාර්තා උපුටා දක්වයි. එසේම නොයෙක් මානසික රෝගී තත්ත්ව තිබුණ ද බහුලව දක්නට ලැබෙන මානසික රෝගී තත්ත්වයක් ලෙස විෂාදය (Depression) හඳුන්වා දිය හැකියි.
මේ සඳහා ජානමය බලපෑම හේතු වෙනවා. රෝගියාගේ මව, පියා හෝ ලේ ඥාතියකුට ඩිප්රෙෂන්ස් තත්ත්වය තිබේ ඒ අනුව පවුලේ සෙසු තැනැත්තන්ට ද එකී රෝගී තත්ත්වය වැලඳීමේ යම් ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම කුඩා කාලයේ සිදුවූ අමිහිරි අත්දැකීම්, විශේෂයෙන් ලිංගික අපයෝජන වැනිදෑත් පවුල් තුළ ඇතිවන අඬදබර නිසාත් මවුපිය සෙනෙහස අහිමිවීම් ආදියත් විෂාදය ඇතිවීමට බලපානවා. තරුණ වයසේ කෙනකුට මෙකී රෝගී තත්ත්වය ඇතිවීමට මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය තදබල හේතුවක්. ඒ කෙසේ වෙතත් දරාගැනීමේ ශක්තිය හීන අය විෂාදයට ගොදුරුවීමේ ප්‍රතිශතය ඉහළයි. විශේෂයෙන් පිරිමියාට සාපේක්ෂව කාන්තාවට ඩිප්රෙෂන්ස් වැළඳීමේ ප්‍රවණතාව ඉහළ බවක් පෙනෙනවා. ඒ අනුව මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් තම රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්වත් වීමත්, ප්‍රතිකාර සඳහා යොමුවීමත් වඩාත් වැදගත්. ප්‍රතිකාර නොගෙන සිටීමෙන් රෝගී තත්ත්වය උත්සන්න වීමටත් ඉඩ තිබෙනවා. ඩිප්රෙෂන්ස් වැළඳී ඇති පුද්ගලයකු තුළ ඇතිවිය හැකි රෝග ලක්ෂණ ලෙස හිසරදය, හිසේ බර ගතිය, කලකිරීම, ඕනෑවට වඩා සංවේදී වීම, පොඩි වැඩක් කළත් අධික මහන්සිය දැනීම, ඇඟපත අමාරුව, ඍණාත්මක සිතුවිලිවල එල්බ සිටීම. නින්ද අඩුවීම, නින්ද වැඩිවීම, කෑම අරුචිය , කෑම රුචිය වැඩිවීම, අධික මහන්සිය, අධික තරහව, නිතර අමතක වීම, නුරුස්නා ගතිය ආදිය හඳුන්වා දෙන්න පුළුවන් . විෂාදයට ගොදුරුවීමට වයස් භේදයක් බලපාන්නේ නැහැ. වයස අවුරුදු 4 – 5 දරුවනුත් විෂාදයට ගොදුරු විය හැකියි.
උපදෙස් – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය
හසිත ලියනආරච්චි
මනෝජ් රුක්මල් කුමාරසිංහ
****
ළමා හතිය මට්ටු කරන හැටි
අප ජීවත්වන මේ පරිසරයේ දරුවන්ට බහුලව වැලඳෙන ලෙඩ රෝග අතර ළමා හතිය නැතිනම් ළමා ඇදුම ද නිරන්තර අවධානයට යොමුවේ. ඒ අනුව අද ළමා හතිය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු.
ළමා හතිය දරුවන් අතර තරමක් සුලබ තත්ත්වයක් ලෙස ද හඳුනාගත හැකිය. එසේම ප්රවේණිගතව හඳුනාගත හැකි තත්ත්වයක් ද වේ. සාමාන්‍ය දරුවකුට වඩා මේ දරුවන්ගේ පෙණහලු සංවේදී බවින් වැඩිය. හුස්ම ගැනීමට අපහසු වීම, නොනවතින කැස්ස ඇති වීම (එම කැස්ස පාන්දරට, රාත්‍රියේ දී උත්සන්න විය හැකිය, දහවල් කාලයේ එහි අඩුවක් හෝ යම් සමනය වීමක් පෙන්නුම් කළ හැකිය. විශේෂයෙන් මේ රටාව ළමා හතියෙන් පෙළෙන දරුවන් කෙරෙන් මනාව පෙන්නුම් කරයි. ) මේ සමඟ දරුවන්ට හති තත්ත්වය, හුස්ම ගැනීමේ අපහසුතාව ද ඇති වේ. ඔවුන් බොහෝ විට කෙටි හුස්ම ගැනීම් සඳහා උත්සාහ දරන අතර හුස්ම ගැනීම සඳහා ආයාසයක් දරයි. පපුවෙන් ‘රාං රූං’ ශබ්දයක් ඇසිය හැකිය. නිදා ගැනීම අපහසු වේ. මේ තත්ත්වය තවදුරටත් උත්සන්න වූ අවස්ථාවක දරුවාගේ සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවී දරුවා නිල් පැහැ විය හැකිය. ඇතැම් අවස්ථාවක එය දරුවාට වඩා අහිතකර ප්‍රතිඵල ද ඵමඟින්ම ළඟා කර දිය හැකිය. දරුවකුගේ මෙබඳු තත්ත්වයක් මනාව පාලනය කිරීම බොහෝ වැදගත් බැව් අවධාරණය කරනුයේ එබඳු හේතු නිසාය.
මෙබඳු තත්ත්ව බොහෝ දුරට දරුවකුගේ ළමා අවධියේ හටගෙන දරුවාගේ වර්ධනයත් සමඟ අඩු වීමක් පෙන්නුම් කරයි. තවද මේ තත්ත්වය නිට්ටාවට සුව කළ නොහැකි අතර වර්ධනයත් සමඟ දරුවාගේ ශරීරය මඟින්ම ඊට ස්වයං අනුගත වීමක් ඇති කර ගනිමින් මනා පාලනයකට ලක් කරගැනීමක් සිදු කරයි.
හතියට බලපාන කාරණා
මූලික වශයෙන් ම හතිය ඇති වීමට හේතු වන්නේ විසබීජවල බලපෑම වේ. එබඳු තත්ත්වයකදී වයිරස්, බැක්ටීරියා මඟින් දරුවකුට යම් ආසාදනයක් ඇති කළ අවස්ථාවක ඇතිවන කැස්ස, හතිය නොමැති නම් ඇදුම ඇති දරුවකුට ඇති කරන බලපෑම සාමාන්‍ය දරුවකුට වඩා වෙනස් වේ. එබඳු අවස්ථාවක ඇතිවන කැස්සේ තීව්‍රතාව වැඩි බලපෑමක් ඇති කරයි. රාත්‍රි නින්දට බාධා කරන, හුස්ම ගැනීමට අපහසු කරවන ආකාරයෙන් කැස්ස ඇතිවීම සිදුවේ.
දූවිලි – මයිටාවන්
කොට්ට මෙට්ටවල, පැරණි පොත් පත්තරවල, සැහැල්ලු සෙල්ලම් බඩුවල ආදි විවිධ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇසුරේ මේ ඇසට නොපෙනෙන මයිටාවන් රැඳී පවතී. මේ තත්ත්වන් දරුවාට ඇදුම ඇති කිරීමට හේතුවක් වන කාරණා අතරට ගැනේ. ඒ අතර නිවසේ ඇති විවිධ දුම් වර්ග එනම් හඳුන්කූරු දුම හා එබඳු දුම් වර්ග නිසාද එනම් ඒවායේ රසායනික ද්‍රව්‍ය මඟින් ඇති කරන ආසාත්මික තත්ත්වයක් නිසා සමහර විට දරුවාට හතිය ඇති කළ හැකිය. ඊට අමතරව නිවෙසේ සුරතලයට ඇති කරන සතුන්ගේ ලෝම, මල්වල පරාග ආදිය ද දරුවාට හතිය ඇති කරන සාධක වශයෙන් බලපෑ හැකිය. එමෙන්ම, පින්තාරු වැඩ කරන පරිසරයන් තුළ, ලී කුඩු, ඇඳුම් මැසීම සඳහා රෙදි වර්ග කපන ආදි ස්ථානවල දරුවා ගැවසීමෙන් ඊට ආසාත්මිකතාවක් පෙන්වන දරුවන්ට හතිය එසේත් නැතිනම් ඇදුම ඇති විය හැකිය. මීට අමතරව කලාතුරකින් යම් ආහාර වර්ග නිසා ද දරුවාට ඇති විය හැකි ආසාත්මිකතාවක් හේතුවෙන් හතිය ඇතිවිය හැකිය. එහෙත් මේ තත්ත්ව දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකිය. ඒ නිසා දරුවාට හතිය ඇති කරන සාධක මොනවාද යන්න මනාව පැහැදිලි කර ගැනීම ද වැදගත් වනු ඇත. දරුවාට හතිය ඇති කරන ඒ අදාළ සාධකවලින් මඟහරින අතරතුර දරුවාට නිසි පෝෂණ ගුණයෙන් සපිරි ආහාර පාන ටික ලබා දීමෙන්, නිසි පරිදි ස්නානය කිරීමෙන් අනිසි බිය ඉවත් කොට, දරුවාට නිතිපතා පිරිසුදුව සුවෙන් සිටිනට අවැසි වටපිටාවක් ඇති කිරීමට කටයුතු කිරීමෙන් දරුවාට සුවපත් දිවියක් ගත කිරීමට මඟ උදා කර දිය හැකිය.
හතිය පාලනය කරන හැටි?
පළමු වැනි දේ පෙර හඳුනාගත් පරිදි දරුවාට මේ තත්ත්වය ඇති කරන දෑ එනම් දරුවාගේ ඇදුම තත්ත්වය උත්සන්න කරන පරිසර සාධක, ආහාර පාන හෝ ඒ හා බැඳි අනිකුත් සාධකවලින් දරුවා ඈත් කර තැබීමය. එසේම දරුවා එබඳු දේට නිරාවරණය වීම හැකිතාක් අවම වන ආකාරයට කටයුතු කිරීමෙන් හා දරුවාගේ ඇදුම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමය. විසබීජවලින් ප්‍රවේසම් වීමට දෑත් සේදීම, මුඛ ආවරණ පැලඳීම ආදිය නිසි පරිදි සිදු කළ යුතුය.
ප්‍රතිකර්ම
දරුවාට හතිය උත්සන්න වූ අවස්ථාවල එය සමනයට ඖෂධ ලබා දෙන අතරම දරුවාගේ හතිය පාලනය සඳහාත් ප්‍රතිකර්ම යොදනු ලැබේ. බොහෝ විට මේ සඳහා යොදාගනු ලබනුයේ ඉන්හේලර් මාර්ගයෙන් ලබා දෙන ප්‍රතිකාර ක්රමයය. එහෙත් මේ ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ සමාජයේ විවිධ මිත්‍යා මත හා අනිසි බිය පවතී. විශේෂයෙන් ඉන්හේලර් භාවිතයට හුරු වීමෙන් දරුවාට ඉන් මිදිය නොහැකිය යන්න හෝ ඉන් නොයෙක් අතුරු ආබාධ ඇතිවේය යන්න ඒ අතරින් ප්‍රමුඛ මතයයි. එසේම, මෙය යථාර්ථවාදී නොවේ. මන්ද මේ ගැටලුවේදී ඇති ආරක්ෂිතම හා රෝගය හොඳින්ම පාලනය කර ගැනීමට සහාය විය හැකි ප්රතිකර්මය ඉන්හේලර් ප්‍රතිකාර ක්රමයය. එය ඉතා ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එමඟින් දරුවාගේ රෝගය මනා පාලනයකට ලක් කරගත හැකි අතර ම එමඟින් දරුවාටත් ඉතා ගුණාත්මක දිවියක් ගත කිරීමට ඉතා හොඳ ඉඩකඩක් ඇති කර දෙයි. තවද එම ප්‍රතිකාර කුමනාකාරව සිදු කරන්නේද එම ප්‍රතිකාර දරුවාට කොපමණ කාලයක් කළ යුතු වේද යන්න දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකි අතර එය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.
උපදෙස් – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය
හසිත ලියනආරච්චි
සමුද්‍රිකා වර්ණකුල
****
මඳසරු බව දුරලන හෙළ ඔසු
“ස්ත්‍යායනී ගර්භෝ යස්යාමිතී ස්ත්‍රී”
ගැබක් දරන්නේ යමෙක්ද ඒ ස්ත්‍රියකි
මාතෘත්වය යනු ලොව ගැහැනියකට පැලඳිය හැකි ඉහළම කිරුළ බව සමාජ පිළිගැනීමයි. විවාපත් බොහෝ කාන්තාවන්ගේ මූලික අභිප්‍රාය වනුයේ දරුවකු පිළිසිඳ ගැනීමයි. එහෙත් විවාහ වී වසර ගණනාවක් යන තෙක්ම දරුවන් නොලබන කාන්තාවන්ද සිටින අතර ගතානුගතික සංස්කෘතියක් කරපින්නා ගත් මෙරට සමාජය තුළ එවැනි කාන්තාවන් නිරන්තරයෙන් දෝෂ දර්ශනයට ලක්වේ. මේ ගැටලුව ස්ත්‍රී, පුරුෂ යන දෙපාර්ශ්වයටම පොදු වුවත් ඉන් වඩාත් පීඩා විඳින්නේ කාන්තාවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව ලිංගික ක්‍රියාශීලී යුවළක් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකර වසරක් ඇතුළත ගර්භිණීභාවයට පත් නොවන්නේ නම් එය මඳසරු භාවය හෙවත් නිසරු බව ලෙස හඳුන්වයි.
ආයුර්වේදයේ සඳහන් වන පරිදි දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් සාධක කිහිපයක් බලපාන අතර ඒවා සෘතු – සරු කාලය, ක්ෂේත්‍ර- දරුවා සැකසෙන්නට අවශ්‍ය ක්ෂේත්‍රය හෙවත් ගර්භය, අම්බු- දරුවාට පෝෂණය ලබා දෙන ආකාරය, බීජ- ස්ත්‍රියකගේ ඩිම්බ හා පුරුෂ ශුක්‍රාණු ආදි වශයෙන් හැඳින්වේ. ආයුර්වේදයට අනුව මෙම සතරාකාර සාධක නීරෝගිව ඇති විට නීරෝගි දරුවකු පිළිසිඳ ගැනීම සිදුවේ.
මේ ලිපිය තුළදී ප්‍රධාන වශයෙන් කාන්තා මඳසරු භාවය පිළිබඳ අවධානය යොමු කරන අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන හේතු කිහිපයක් හඳුනා ගත හැකිය. එනම් පැලෝපීය නාල දෝෂ, ඩිම්බ නීහරණය හෝ ආර්තවය අඩුවීම, ගර්භාෂය නිසි ලෙස නිර්මාණය නොවීම ඇතුළු ගර්භාෂගත විකෘති තත්ත්වයන්, ගැබ් ගෙල තුළ ඇතිවන්නා වූ මස් දලු සහ ගැබ් ගෙල ශ්‍රාව, යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී තිබීම හෝ පටුවීම, යෝනි මාර්ගයේ ආම්ලික තත්ත්වය වැඩිවීම, වයස අවුරුදු තිස්පහට වඩා වැඩිවීම, සරු කාලය පිළිබඳ අනවබෝධය, සංසර්ගයේදී ඇතිවන දුර්වලතා, කෘත්‍රිම ආහාර අධිකව පරිභෝජනය, මානසික ගැටලු ආදී වශයෙනි.
මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා නූතන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මෙන්ම ආයුර්වේදයේ එන ප්‍රතිකර්මද භාවිතයට ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ආයුර්වේදයේ එන එවන් පිළියම් කිහිපයක් මෙසේය. මෙම ප්‍රතිකාර ආරම්භයේදී පළමුව ශරීර ශෝධනය කළ යුතු අතර ඉන්පසු ශරීර උෂ්ණය (පිත) සංසිඳීම සිදු කළ යුතුය.
නෙල්ලි, රසකිඳ තැම්බූ ජලය
වැල්මී, කිරිබදු අල, කළු උක්දඬු, නෙල්ලි, ඉලුක් මුල්, කලං දෙක බැගින් මදටිය අට බැගින් වතුර පත 8-1ට සිඳ පෙරා පත භාගය බැගින් උදේ සවස මී පැණි, සීනි දමා බොන්න.
නෙල්ලි චූර්ණය, වැල්මී චූර්ණය මිශ්‍රකොට උණු වතුරට දමා බොන්න. අමුක්කරා අල සුණුකර එළඟි තෙලෙන් පානය කරන්න. (එළකිරි ඉතා ප්‍රත්‍යක්ෂ කිරකි) චන්ද්රප්රභාවටී දෙක බැගින් උදේ – සවස පොල්පලා, නීරමුල්ලිය, ඉඟිණිඇට තැම්බූ වතුරින් බොන්න. කෛශෝරු ගුග්ගුලු දෙකක් උදේ-සවස පානය කරන්න.
මීට අමතරව හාතවාරිය 10 කෂාය, මංජිෂ්ටාදි කෂාය සහ දුම්වැල්ල 7 කෂාය යෝග්‍ය වේ.
එමෙන්ම පතෝල, වැටකොළු, පිපිඤ්ඤා, කොළ කැඳ, පලා වර්ග වැනි ආහාර පරිභෝජනය වඩා සුදුසු වන අතර ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, බල මාළු, අච්චාරු ආදී උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකිය යුතුය.
උපදෙස්
වෛද්‍ය මාලා කුමුදුනී ද සිල්වා
ඉන්දීවරී පෙරේරා
****
සැන්ටිපෝට් වාර්තාව
‘ගුණේ ළඟ හඩ් ගඳේ බෑ. පිට ඔපේට පොෂ් එකට, කමිසෙ අත් දිගට දාගෙන කරගෙන හිටියාට ළඟට ගියාම මෙලෝ යකෙකුට ගඳ ඉවස ගන්න බෑ. ඉස් මුදුනෙ කපුටු කූඩු ගහන තරමට කුණු, රොඬු. උකුණො, ලේඬි වකාරයක්. සර්ම ගිහින් බලන්නකෝ’. සැන්ටිපෝට් රිපෝට් එක ගහන්න. ඉතිරි ඩිංග අපි ගම්මු ටික බලා කියා ගඤ්ඤං. පුතයව අල්ලලා, ගස් බැඳලා, භූගාලා, නියපොතු කප්පලා ගන්ඩයි අපි සේරෝම සැට් වෙලා ඉන්නේ. පමාව තියෙන්නේ සැන්ටිපෝට් මහත්තයාගෙයි ඕං.
හැබැයි ගුණයා හොයන් යද්දී ඔබතුමා මතක ඇතිව මුඛවාඩමකුත් බැඳන් යන්න හොඳේ.’
ගුණේ ගැන, සැන්ටිපෝට්ට මෙහෙම පැමිණිලි කරන්නේ සෝමේ. දෙන්නා කාලයක් එකට ආස්සරේ කළ ගජමිතුරන්. හොරෙන් කැපුවාය කියන තැඹිලි වල්ලකට ඇතිවෙච්ච ආරෝවකින් පස්සෙන් පහු, දෙන්නා දැන් ජන්මාන්තර වෛරයි කියලායි කොට්ටං ගහ යට කඩේ කදේ දාගෙන ඉන්න කට්ටිය කතා වුණේ.
සෝමේ ඇවිදින් ගෙහුන් කීප දොහකට පස්සේ තකහනියක් එන්නේ ගුණේ. ‘සර්, ගමේ තැනින් තැන කතාව යන්නේ සර් දැන් කම්මැළි වෙලා කියලායි. ඇයි අර ගුණයා වගේ හඩ්ඩන්ව මට්ටු කරන්නේ නැති හන්දා. බැනියමේ අලි හිල්. යට කලිසම ගැන මං නොකියා ඉන්නං. අල්ලගත්තම ඒකේ වසංගත ටික හොයන්න වෙනමම පරික්ෂණයක් තියන්න වෙනවා සිකුරුයි. නියපොතු කට්ට කළු පාටයි. ඇඟිලි කරුවල තුවාල. එහෙම්ම ගිහින් තමයි, කොට්ටං ගහ යට ෂෝකේස් එකෙන් කෑම අරන් කන්නේ. ඔය විෂබීජ. ඉස්කෝලෙට ගාටනපොඩි ළමයිනුත් කන්නේ ඒ කෑම….’
දෙපැත්තෙන්ම පැමිණිලි. දැන් මුකුත් නොකරත් බැහැ. ගම්මු කීප දෙනකුගෙන්ම මේ දෙන්නා ගැනම පැමිණිලි ලැබිලා තියෙන හින්දා දෙන්න ගැනම එකටම විභාග කරන්නයි අන්තිමේ තීන්දු කළේ ඕං. දෙන්නම අල්ලලා, හොඳ හැටි ඇළෙන් නාවනවා. ඉන් පස්සේ හන්දියේ බාබර් සාප්පුවට අරං ගෙහුං කෙස් රැවුල් බාවන වැඩෙත් ගමේ ඉලන්දාරිම බාර ගත්තු හින්දා සැන්ටිපෝට්ටත් ලේසියි. ඊළඟට හඩු ඇඳුම් වෙනුවට අලුතෙන් ඇඳුම් කැඩුං ටිකක් දුන්නේ හන්දියේ ලොන්ඩරියෙන්. ඔය සේරෝගෙන්ම පස්සෙන් පහු නාගෙන, පිරිසුදුවට ඉඳන්, අනුන්ටත් ලෙඩ රෝග බෝ නොකර තමනුත් හොඳ සෞඛ්‍යයෙන් ඉන්ඩ ඕනෑ විදිහ මේ දෙන්නටම කියා දෙන්ඩයි සැන්ටිපෝට්ට දැන් තියෙන්නේ. ඉතින්, අනුන්ගේ හඩු ගඳ ගැන හොයන්ඩ කලින් කවුරු කවුරුත් තමන්ගේ දිහෑටත් ටිකක් හැරිලා බැලුවානං හොඳයි ඕං…’
****
මනෝ වෛද්‍ය ගැටලු සහ උපදෙස්
සැමියා වෙනත් සබඳතාවක් ඇතිකරගෙන ඇතැයි මට සැකයක් ඇති වෙනවා. මේ නිසා අප දෙදෙනා අතර බහින්බස් වීම්, ගැටුම් ඇතිවෙනවා. ඊට පිළියමක් නැති ද?
කඳාන _ සරෝජනී
මෙය Morbid Jelousy තත්ත්වයක්. මේ ගැන පැහැදිලි කිරීම ප්‍රමාණවත් නැහැ. මෙය විෂාදය තත්ත්වයක් නෙවේ. එහෙත් උපදේශනය, ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බව කිව හැකියි.
පිරිසක් ඉදිරියට යද්දී චකිතයක් එනවා. හෘදය ස්පන්දනය වැඩිවෙනවා. දහඩිය දමනවා. මෙයට පිළියමක් කියන්න.
මහනුවර _මධුසංඛ
ඔබට ඇත්තේ සමාජ භීතිකාව නමැති මානසික රෝගී තත්ත්වය. මෙයට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම කළ යුතුයි.
පිරිමින් කෙරෙහි ලිංගික ආශාවක් ඇතිවෙන්නේ නැහැ . ඒත්, මගේ වයසේ තරුණියන්ට ලිංගික ආකර්ෂණය ඇතිවෙනවා. පිළියමක් කියන්න.
කුරුණෑගල – නිමේෂා
මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. සමලිංගිකත්වය මානසික රෝගයක් ද නොවෙයි. ඔබ සමඟ සාකච්ඡා කළ යුතුයි. මේ තත්ත්වය බොහෝඅය දකුණතින් ලියද්දී එක් කෙනෙක් දෙන්නෙක් වමතින් ලියනවා වැනි දෙයක්.
උපදෙස් – රාගම ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අරුණි අබේසිංහ
මනෝජ් රුක්මල් කුමාරසිංහ
****
ඔබේ සෞඛ්‍ය ගැටලුවත් අපට යොමු කරන්න
දිනමිණ, සුව හමුව, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට
news.dinamina@lakehouse.lk