ඉකුත් සතියේ අපට විශේෂ තොරතුරු දෙකක් සන්නිවේදනය විය. පළමුවැන්න වූයේ ජනපතිවරයාගේ චීන සංචාරය නිසා අප රටට හිමි වූ අති විශාල ආයෝජන පිළිබඳවයි. චීනය සමඟ යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබූ අතර, එමඟින් අප රට ආර්ථික, සමාජයීය හා දේශපාලනික වශයෙන් සුවිශේෂ ප්රතිලාභ රැසක් අත්පත් කර ගැනීමට සමත් වූ බව පළමු ප්‍රවෘත්තියේ සඳහන් විය.
දෙවැනි ප්‍රවෘත්තිය වූයේ විදුලි බිල සියයට විස්සකින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය දීමත්, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවීමත් පිළිබඳ කාරණයයි. ඒ අනුව, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව පීඩාවට පත් වූ විදුලි බිල සම්බන්ධයෙන් සුවිශේෂ සහනයක් අත්පත් කර දීමට සමත් වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.
මෙකී විදුලි ගාස්තු අඩු කිරීමේ සහනය මත ගෘහස්ථ විදුලි බිල සියයට 20කින් ද, ආගමික ස්ථානවල විදුලි බිල සියයට 21කින් ද, කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 30කින් ද, හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 31කින් ද පහත දැමිණි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලි බල පනත අනුව විදුලි බිල පිළිබඳ ගාස්තු තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට වන අතර, එමඟින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටී.
විදුලි බලය සැපයීම යනු ජාලයක් හා සම්බන්ධ පුළුල් ක්‍රියාවලියකි. නිවාස, කර්මාන්තශාලා ඇතුළු කවර ස්ථානයකට හෝ විදුලිය සපයන්නේ නම්, ඊට අදාළව සංකීර්ණ ක්‍රියාවලියක් සිදු වේ. එබැවින් ඒ ජාලය තුළ සිදු වන සියලු ක්‍රියාවලීන් සැලකිල්ලට ගනිමින්, අවසානයේ පාරිභෝගිකයා ගෙවිය යුතු ගාස්තුව තීරණය වේ.
ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ ඉතා බරපතළ ලෙස කතාබහට ලක්වූයේ විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව ය. පීඩාවට පත් ජනතාවට සහනයක් සැලසීම සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වහා ක්‍රියාත්මක කළ යුතු බව මැතිවරණයට තරග කළ බොහෝ අපේක්ෂකයන්ගේ දේශපාලන සටන් පාඨයක් විය. ඉකුත් ජනාධිපතිවරණය සඳහා තරග කළ අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින් ජනතාවට විදුලි බිලෙහි සහනයක් සැලසිය යුතු බවයි. ජනාධිපති ධුරයට පත් වී දින සියයක් ඉක්මවන විට ඒ ප්‍රකාශය සත්‍යයක් බවට පරිවර්තනය වී තිබේ.
එහෙත් මේ විදුලි බිල අඩු වීම පිළිබඳ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට විවිධ කතාන්දර නිර්මාණය වී තිබේ. ඉතා සරලව
කිවහොත්: විදුලි බිල අඩු කිරීමේ ක්‍රියාවලිය සඳහා පියවරුන් විශාල සංඛ්‍යාවක් බිහිව ඇත. “ඕක අපිත් කරන්න හිටියේ”,
“ඕක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි කොමිසමේ වැඩක්” යනුවෙන් විවිධ ප්‍රකාශ ජනමාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍යයෙහි සැරිසරනු දක්නට ලැබේ.
ඒ ප්‍රකාශ ඉතා සීරුවෙන් කියවාගතහොත් නිරීක්ෂණය කළ හැක්කේ, විදුලි බිල අඩු කිරීමේ ක්‍රියාවලියට සමගාමී ව, තවත් පිරිසකට විදුලි සර වැදී ඇති බවයි. එලෙස විදුලි සර වැදුණු පිරිස කවුරුන් දැයි තේරුම් ගැනීමට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක එක් ප්‍රවෘත්ති විකාශයක් පමණක් නැරඹීම වුව ප්‍රමාණවත් ය.
සත්තකින්ම ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු විදුලි කප්පාදුවක් අපේක්ෂා කළ, විදුලි බිලෙහි ශීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා කළ, පිරිසට විදුලි බිලෙහි සහනය ලැබුණු පසු විදුලි සර වැදී තිබේ.
ඉකුත් පාලන සමයේදී විදුලි බිල අඩු කළ යුතු යැයි යෝජනා කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ගෙදර යැවීමට අත ඉස්සූ බොහෝ හිටපු මැති ඇමැතිවරුන් ද මේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යය දනවන කාරණයකි.
විදුලි බිල අඩු කිරීම ක්‍රමානුකූලව සිදු කළ යුතු කාරණයක් යැයි පසුගියදා අසන්නට ලැබුණු අතර, ඒ කාරණයේ ඇති සත්‍යතාව ද යම් ප්‍රමාණයකින් කියවා ගැනීම රටේ ඉදිරි දේශපාලනික අනාගතය සඳහා සුබදායක වනු ඇතැයි සිතමු.
විදුලි බිල අඩු කිරීම හොඳ ය. එහෙත් ඒ සඳහා වැය වන පිරිවැය ඉතා අධික ය. එය රුපියල් බිලියන ගණනකි. පතුලටම හින්දවූ රාජ්‍ය භාණ්ඩාගාරයකින් රුපියල් බිලියන ගණනක් එක්වර මුදාහැරීම පිළිබඳව යළි සිතා බැලිය යුතු වනු ඇත. අප පසු කර ආ ආර්ථික අර්බුදයෙන් පරිපීඩිත වූ අතීතය අපට තවමත් මතක ය. නිශ්චිත ආර්ථික වැඩසටහනකින් යුක්තව රාජ්‍ය ආදායම කළමනාකරණය කර ගැනීමේ වැඩසටහන තවමත් පවතින්නේ ක්‍රියාත්මක මට්ටමේ ය. එබැවින් මහජන උපයෝගිතා කොමිසමේ තීන්දුව හා විදුලිබල මණ්ඩලය එයට අනුමැතිය දීමේ දේශපාලනික තීන්දුව ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීමේ දේශපාලනික ශක්‍යතාව මේ මොහොතේ අත්‍යවශ්‍ය ය. එය හැඟීම්බර, ජනප්‍රිය තීන්දුවකට වඩා සබුද්ධික, දේශපාලනික තීරණයක් වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු.
සුවිශේෂ සංවේදී දේශපාලනික කාරණයකදී තීන්දු ගැනීමේ බලතල ඇත්තේ ව්‍යවස්ථාදායකයට ද, නැතිනම් කොමිසමේ නිලධාරීන්ට ද යන විවාදයේ සිර වීම මේ මොහොතේ පලක් නොවේ. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ නීත්‍යනුකූල බලතල හිමි වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයෙනි. නැවත මහින්ද රාජපක්ෂ සමයේ 19 වැනි සංශෝධනයෙන් ඒ බලතල ස්ථාපිත වී, 20 වැනි සංශෝධනයෙන් ඒවා ඉවත් වී, 21 වැනි සංශෝධනයෙන් යළි ස්ථාපිත විය. ඉකුත් පාලන කාලයන්හිදී දේශපාලනඥයන් ව්‍යවස්ථාවේ වගන්ති සමඟ පාපන්දු ගැසූ අයුරු තේරුම් ගැනීමට ඉහත කාරණය පමණක් ප්‍රමාණවත් ය.
එබැවින් මේ පිළිබඳ දේශපාලනික අතීතයේ කරුණු නොදැන හෝ එය වුවමනාවෙන් අමතක කොට කැමරා ඉදිරියේ ‘වොයිස් කට්’ දෙන, ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන බොහෝ පුද්ගලයන් පිළිබඳ ඇත්තේ කනගාටුවකි.
කවර තත්ත්වයක් යටතේ වුව ද විදුලි බිල අඩු කර ජනතාවට සහන සැලසීම අතිශය ප්රගතිශීලී දේශපාලනික තීන්දුවකි. එහෙත් විදුලි බිල අඩු වීමෙන් පමණක් ඒ තීන්දුවේ ප්‍රතිලාභය, රටට අත්පත් කර දිය නොහැකි ය. ගෘහස්ථ, ආගමික, කර්මාන්ත සහ හෝටල් යන සියලු ක්ෂේත්රවලට මේ නිසා හිමි වූ ආර්ථික ප්‍රතිලාභය රටටම හිමි වන දේශපාලනික වැඩ සැලැස්මක් පැවතිය යුතු ය. එසේ නැතිව පොකට්ටුවට හිමි වූ ආර්ථික ප්‍රතිලාභය පමණක් පිළිබඳ කල්පනා කොට, ඉතිරි මුදලින් සාද පැවැත්වීමෙන් රටක් ඉදිරිය කරා ගමන් කළ නොහැකි වනු ඇත.
මේ මොහොතේ රජය විදුලි බිල සියයට 20කින් අඩු කොට තිබේ. ඒ දේශපාලනික වේදිකාවේ පොරොන්දුව ඉටු කිරීමකි. ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ට ප්‍රශංසාව හිමි විය යුතු ය. වඩාත් සංයමයෙන් හා සන්සුන්ව ඉදිරි දේශපාලනික පොරොන්දු ද ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. රටේ අති මහත් බහුතර ජනතාවගේ සුබවාදී අපේක්ෂාව ද එය බව අපි දනිමු.
ගත වූ කාල සීමාවේ පැය දහසයකට වැඩි කාල සීමාවක් විදුලි කප්පාදුවට ලක් කළ, රටේ සමස්ත කර්මාන්ත පද්ධතිය බිඳවැට්ටවූ, දේශපාලනික අනාථභාවයට පත් වූ පිරිස් විදුලි බිල අඩු කිරීමේ තීන්දුව නිසා විදුලි සර වැදී කම්පනයට පත් වී ඇත. එබැවින් ඔවුහු විදුලි බිල අඩු කිරීමේ තීන්දුවේ පියවරුන් සොයා වෙහෙසෙති.
රටේ සුවහසක් ජනතාවට මෙලෙස ලියා තබමු. විදුලි බිල අඩු කිරීමේ සහනය භුක්තිවිඳින්න. එමඟින්, රටට වඩාත් සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ප්රතිලාභ අත්පත් කර දීමේ වැඩසටහනට ඔබගේ සක්‍රිය දායකත්වය දෙන්න.
“ඇදෙන හැම විදුලි රැහැනකම ඇත්තේ සංවර්ධනයේ මාවත” යැයි කිවුවේ ලෙනින් ය. ඒ නිසා විදුලි බිල අඩු කිරීමේ තීන්දුව සංවර්ධනයේ දිශාවට යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
මෙවන් පසුබිමක විදුලි බිල අඩු කිරීමේ තීන්දුවෙන් විදුලි සර වැදී කම්පනයට පත් වූ බොහෝ පිරිස් විසින් කරනු ලබන ප්‍රකාශ එතරම් සැලකිල්ලට ගතයුතු නැත.