සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහ කාර්‍ය මණ්ඩලවල ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති ප්‍රජා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයේ දීය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා සමෘද්ධි කලමණකරුවන් දැනුවත් කිරීම මූලිකව සිදු කිරීමට නියමිතය.
තවද ඉදිරි වසර පහ තුළ දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබල ගැන්වීම මෙහි අරමුණයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පන්නිලගේ මහතා,
දිළිඳුකම තුරන් කිරීමට අප රජය තව සති දෙකක් හෝ තුනක් ඇතුළත දිළිඳු පවුල් සවිබල ගැන්වීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන බවත් මෙම වැඩසටහන ප්‍රධාන තේමාවන් පහක් ඔස්සේ අඩු ආදායම්ලාභී පවුල්වල පුරවැසියන් ස්වෝත්සාහයෙන් නැගී සිටීමට පුලුවන් තත්ත්වයට පත් කිරීම අරමුණු කරගෙන තිබෙන බවත් පැවසීය.
එසේම සමෘද්ධි වැඩසටහන මේ රටේ ක්‍රියාත්මක කර දැන් දහක තුනකටත් වැඩි බවත් මෙහි 25000 කට වැඩි සේවක පිරිසකට බරපතල ගැටලු ගණනාවක් තිබෙන බවත් විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත් එම සේවක සේවිකාවන්ට කිසිම උසස්වීම් පටිපාටියක් නොමැති බවත් සඳහන් කළේය.
සියලුම සේවක සේවිකාවන්ට උසස්වීම් ලබා දීමට අවශ්‍ය විභාග, සම්මුඛ පරීක්ෂණ ආදිය මේ වසරේ මුල් මාස හය තුළ පවත්වන බවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුව සති කිහිපයක් ඇතුළත අනිවාර්යයෙන් විසඳීමට කටයුතු කරන බවත් පැවසීය.
මෙහිදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාධරන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ශානිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ද සභාව ඇමතූ අතර මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් තිලක, ප්‍රදීප් මදුරංග, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී.කලුආරච්චි, ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම් සුගත් කිත්සිරි යන මහතුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සමෘද්ධි කලමණාකරුවන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.