Home » ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13කට ගංවතුර අනතුරු ඇගවීම්

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13කට ගංවතුර අනතුරු ඇගවීම්

by chanaka
January 19, 2025 4:32 pm 0 comment

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට පතිත වන වර්ෂාව හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13කට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 50ක් වාන් දමමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂිකව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා සක්‍රිය වන ඊසානදිග මෝසම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙමින් පවති. ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටය. වර්ෂාව හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශ රැසක පහත්බිම් රැසක් ජලයෙන් යටව පවති. මේ වන විට සෝමාවතිය සුංගාවිල මාර්ගය 36 කණුව ප්‍රදේශයෙන් අඩි තුනහමාරක් පමණ ජලයෙන් යටව තිබේ.

වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවති. ගිරිතලේ වැව පස්වැනි දිනටත් වාන් දමමින් පවතින අතර පිටවාන මගින් නිකුත් කෙරෙන එම ජලය එක්වන්නේ මින්නේරිය ඔයටය. මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මූතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කම හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

මීට අමතරව මල්වතු ඔය ද්‍රෝණියේ ද ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකියයුතු වර්ෂාපතනය හේතුවෙන් තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT