Home » ලංකාවට ඩොලර් ගේන කල්පිටියේ සරුංගල් පැදිල්ල

ලංකාවට ඩොලර් ගේන කල්පිටියේ සරුංගල් පැදිල්ල

by mahesh
January 17, 2025 1:00 am 0 comment

වනාතවිල්ලුව සමූහ කේ. ප්‍රියංකර කළුපහන

දූපත් වැළකින් සැදුම්ලත් කල්පිටිය අර්ධද්වීපය දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොළ පිනවන සොඳුරු පාරාදීසයක් බවට පත්ව ඇත්තේ මීට දශක දෙක තුනකට පෙර සිටය. එයට බලපා ඇති ප්‍රධාන සාධකය ලෙස පෙන්වා දිය හැක්කේ අති රමණීය වූ මුහුදු තීරය හා කලපු තීරය නිසාවෙනි.

ලෝකයේ සෑම රටකින්ම පැමිණෙන බහුතරයක් විදෙස් සංචාරකයන්ගේ පා සලකුණු කල්පිටිය වැල්ලේ සටහන් වන තරමට කල්පිටිය මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර, කල්පිටිය කන්දකුලිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සරුංගල් ක්‍රීඩාව හෙවත් කයිට් සර්ෆින් නමැති සරුංගල් පැදීමේ ක්‍රීඩාවටම ආවේණිකව සැදුම්ලත් සුන්දරවූ කලපු තීරයක් පිහිටා තිබීම හේතුවෙනි.

මෙහි සරුංගල් ක්‍රීඩාව සඳහා ලෝකයේ බොහෝ රටවල විදෙස් ජාතිකයන් ඍජුවම පැමිණීම සෑම වසරක් පාසාම සුලභව දක්නට ලැබේ. ඒ අනුව විශේෂයෙන් ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, කියුබාව ඇතුළු බොහෝ රටවල දේශීය සංචාරකයින්ගේ ප්‍රියතම විනෝදාංශයක්වූ මෙම සරුංගල් ක්‍රීඩාවට ලෝකයේ සිව්වැනි ස්ථානය හිමි කන්දකුලියට පැමිණීම සිදු කරනු ලබයි.

එහි පැමිණෙන බොහෝ සංචාරකයින් මාස තුනක් වැනි කාලයක් තුළ මෙහි පැමිණ අවට පිහිටි සංචාරක හෝටල් හෝ නිවාඩු නිකේතන ඇණවුම්කර එහි තාවකාලිකව නැවතී දෛනිකව මෙම සරුංගල් ක්‍රීඩාවේ නිරත වීම නිරායාසයෙන් දක්නට ලැබේ. ලෝකයේ කිසිම රටක නොමැති විධිමත් පුහුණුවකින් අනතුරුව සිය සරුංගල් පැදීමේ ක්‍රීඩාවට විදෙස් සංචාරකයින් යොමු කිරීම මෙහිදී සිදු කරනු ලබන අතර, මෙම ස්ථානයේ සරුංගල් පැදීමේ පුහුණු මධ්‍යස්ථාන පනහකට ආසන්නව පිහිටා ඇති අතර, ඉන් බහුතරයක් විදේශීය ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන අතර, ඉන් සුළුතරයක් ගම්මුන් විසින් සිදුකර ගෙන යනු ලබයි.

මේ දිනවල අධික සුළං සහිත බැවින් පහසුවෙන් සිය ක්‍රීඩාව සිදු කිරීම සඳහා දිනකට දේශීය සංචාරකයින් 100 – 150ත් අතර, පිරිසක් මෙහි පැමිණිම සුලභව දක්නට ලැබෙන අතර, එසේ පැමිණෙන සංචාරකයින් කල්පිටිය හා අවට ද සංචාරය සඳහා එක්වීමෙන් ඩොල්ෆින් මසුන් නැරඹීම ද සිදු කරනු ලබන අතර, ඉන් ඔබ්බට යන සංචාරකයින් කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ ගඟේවාඩියට පැමිණ ඉන්පසු විල්පත්තුව ජාතික වනෝද්‍යානය නරඹා, සීගිරිය, යාල, කුමන, ඇතුළු ලංකාවේ අති රමණීය නැරඹුම් ස්ථාන කිහිපයක සංචාරයට එක්වන බවද දකින්නට ලැබේ.

කල්පිටිය කන්දකුලිය ඉලක්ක කරගෙන පැමිණෙන සංචාරකයින් පසුව ලංකාව වටා සංචාරයට එක්වීමේ මූලාරම්භය සිදු වන්නේද කල්පිටිය කන්දකුලියෙන් බවයි සංචාරක මාර්ගෝපදේශකයින් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ලංකාවට ඩොලර් පොම්ප කිරීමක් සෘජුවම සිදුවුවද තවවනතුරු කල්පිටිය කන්දකුලිය කයිට් සර්ෆින් පුහුණුකරුවන්ට රජය කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ඔවුහු මැසිවිලි නගති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ තම කර්මාන්තය කර ගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමට පසුගිය රජයන් සියල්ලම අපොහොසත් වුවද මෙම රජය මඟින් යම් තරමක සහන සැලසීමක් දක්නට ලැබෙන බවයි. තවද මොවුන් පවසන පරිදි මෙම සරුංගල් ක්‍රීඩාවේ නිරත වන සංචාරකයින් සඳහා ගමන් ගැනීමට ඇති මාර්ග පද්ධතිය දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් බහුතරයක් සංචාරකයින් මෙහි පැමිණිමට දැඩි මැලිකමක් දක්වන බව දකින්නට ලැබේ.

එපමණක්ද නොව සරුංගල් ක්‍රීඩාව සඳහා භාවිත කරනු ලබන ක්‍රීඩා උපකරණ අධික මිල ගණන් යටතේ පැවතීම හේතුවෙන් මෙරට වෙළදපොළ තුළ එම උපකරණවල මිල ගණන් අඩු කිරීමක් රජය විසින් කරන්නේ නම් තමන්ටද පහසුවෙන් එකී උපකරණ මිලදී ගැනීමට ඇති හැකියාව ඉහළ යනු ලබන බවයි ඔවුන් පවසන්නේ.

තවද මේ වන විට මෙම ස්ථානය වටා ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රෝපණය කර ඇති කඩොලාන ශාක පද්ධතිය වසරකට වතාවක් හෝ කප්පාදු කර දෙන්නේ නම් පහසුවෙන් සුළං හැමීමට බාධාවක් නොවන අයුරින් මෙම ක්‍රීඩාව සිදුකර ගෙන යා හැකි බවත් ඔවුහු පැවැසූහ. වසරේ සමහර මාසවලදී සුළං හමන දිශාව සහ සුළගේ වේගය අනුව මෙම සරුංගල් ක්‍රීඩාව දැඩි අපහසුතා මධ්‍යයේ සිදුකර ගෙන යාමට සිදුව ඇත්තේ මෙම ස්ථානය වටා රෝපණය කර ඇති කඩොලාන පරිසරය හේතුවෙන් බවත්, අවට ඉදිකර ඇති සුළං බලාගාර ද දැඩි ලෙස සිය කර්මාන්තයට බාධා එල්ල කරන බවට කර්මාන්තකරුවෝ මැසිවිලි නගති.

පසුගිය රජයන්ට සාපේක්ෂව මෙම රජය විසින් මෙම ක්‍රීඩාවට ප්‍රමුඛස්ථානයක් හිමිකර දීම හේතුවෙන් පෙර වසරවලට අමතරව මෙම වසරේ විදේශීය සංචාරකයින් සරුංගල් පැදීමේ ක්‍රීඩාව සඳහා දැඩි උනන්දුවකින් මෙහි පැමිණෙන බවද ඔවුහු පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT