Home » ලිමංසාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් යොවුන් පිලට ජය

ලිමංසාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් යොවුන් පිලට ජය

by sachintha
January 16, 2025 1:20 am 0 comment

ලිමංසා තිලකරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අවුරුදු 19න් පහළ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ එක්වූ තරගයෙන් සැමෝවා පිල පරදවා ලකුණු 76ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

මැලේසියාවේ නෙගරි සෙම්බිලාන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් 115ක ඉලක්කයක් හමුවේ සැමෝවා පිලට ඕවර 12.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 38ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ කිසිදු ප්‍රතිවාදී පිතිකාරිනියකට ලකුණු 10 සීමාවට පිවිසීමට අවස්ථාවක් හිමි නොවූ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලිමංසා තිලකරත්න ලකුණු 6කට කඩුලු 5ක් බිඳ දැමුවාය. ඊට අමතරව චමෝදි ප්‍රබෝධා කඩුලු 3ක් සහ අසේනි තලගුණේ කඩුලු 2ක් දවා ගත්හ.

සුමුදු නිසංසලා සහ අසේනි තලගුණේ ලකුණු 23 බැගින් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනියන් වූ අතර, පන්දු යැවීමේදී ජේන් තාලිලගි කඩුලු 3ක් දවා ගත්තාය.

මින් පෙර බංග්ලාදේශ පිල සමඟින් ශ්‍රී ලංකාව පුහුණු තරගයකට එක් වූ අතර, එම තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 4ක ජයක් හිමි විය. මේ තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 19න් පහළ කාන්තා විස්සයි20 තරගාවලියක් මෙරටදී පැවති අතර, එම තරගාවලියේ මුල් තරග දෙක ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවද අවසන් තරග දෙක ජය ගත්තේ බංග්ලාදේශයයි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT