Home » පිතිකරණ පෙළහර පෑ රෙඩ්ඩි තිරුපති කෝවිලේ දෙවියන් නමදී

පිතිකරණ පෙළහර පෑ රෙඩ්ඩි තිරුපති කෝවිලේ දෙවියන් නමදී

පඩි 3,550ක් දණින් වැටී ගොස් භාරය ඔප්පු කරයි

by sachintha
January 16, 2025 1:18 am 0 comment

ඉන්දියාවේ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත. ඇතැම් වැදගත් තරගාවලියකට පෙර ඔවුන් දේව ආශීර්වාද ලබා පසුව එම භාර ඔප්පු කිරීම සිදු කෙරේ. මෙයට දින 10කට පෙර නිමාවූ ඔස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රිඩක නිතිෂ් කුමාර් රෙඩ්ඩි සංචාරයට පෙර සිදු කළ භාරයක් ඉන්දියාවේ තිරුමාලා තිරුපති කෝවිලේදී ඔප්පු කිරීම ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල අවධානයකට ලක් වූවේය.

ඔහු තිරුපති කෝවිලේ ප්‍රවේශ මාර්ගයේ ඉහළට විහිදී ඇති පඩි 3,550ක් දණින් වැටී ගමන් කරමින් භාරයක් ඔප්පු කළ අතර, ඔහුගේ ක්‍රීඩා දිවියට ලැබූ දිව්‍යමය මැදිහත්වීම සඳහා කෘතඥතාව එමඟින් අවධාරණය කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ මේ වීඩියෝ පටයේ ඔහු තිරුපති කෝවිලේ පඩිපෙළ නඟින ආකාරය හා ඔහුගේ දේව භක්තිය පෙන්නුම් කිරීම විශාල රසික පිරිසකගේ ප්‍රතිචාරයට හේතු වූහ. මේ සමඟම නිතිෂ්ට තවත් හොඳ ආරංචියක් ලැබිණි. එනම් ඉන්දීය ක්‍රිකට් විසින් ඔහුව එංගලන්තයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා තෝරාගෙන තිබීමය.

නිතිෂ් සිය මංගල ටෙස්ට් තරගය ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව බෝඩර් ගවස්කාර් කුසලානයේදී ක්‍රීඩා කළේය. මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඔහු ශතකයක් රැස් කළ අතර, එම ටෙස්ට් තරග 5කදී ලකුණු 298ක් රැස් කිරීමට ද සමත් විය.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ සුප්‍රකට තිරුපති කෝවිල පිහිටා ඇති අතර, එහි ශ්‍රී වෙන්කටේශ්වර හෙවත් විෂ්ණු දෙවියන්, මීට වසර පන්දහසකට පෙර වාසස්ථානය කරගත් බව පවසයි. වසරකට කෝටි සංඛ්‍යාත බැතිමත්හු තිරුපති වන්දනාවේ පැමිණෙන අතර, ක්‍රීඩකයන්, දේශපාලනඥයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ස්තරවල වන්දනාකරුවෝ භාරහාර වෙති.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT