Òබදුල්ල අමුණුවැල්පිටිය අංක 43 දුම්රිය බිංගෙය ආසන්නයේ දී මා දුම්රියේ නළාව නාද කරමින් එන වෙලාවේ බිංගෙයි දුම්රිය මාර්ගයේ වාඩිවී සිටි පුද්ගලයකු අතක් ඔසවමින් මාර්ගයෙන් නැගිටීමට උත්සාහ කළා. නමුත් ඔහුට නැගීසිටීමට තරම් ශක්තියක් තිබුණේ නෑ. ඒ සමඟම ඔහු දුම්රියේ එන්ජිමේ ගැටී විසි වී ගියා.
පසුව දුම්රිය නවතා පැමිණ බැලීමේදී බරපතළ තුවාල ලබා ලේ විලක් මැද වැටී සිටි ඔහු මියගොස් සිටියාÓ යැයි උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අමුණුවැල්පිටිය අංක 43 දරන දුම්රිය බිංගෙය අසල දී දුම්රියේ ගැටී මියගිය බදුල්ල දෙයියන්නේවෙල පදිංචි පාසල් මුරකරුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දුම්රිය රියැදුරු බන්ධුල ජයවර්ධන (63) මහතා පැවසීය. මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ ශීඝ්‍රගාමි දුම්රියේ ගැටි මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල ඌව මහ විදුහලේ පාසල් මුරකරුවකු ලෙස සේවය කළ මොහොමඩ් සියාම් මුසාකීර් (39) නමැති එක්දරු පියෙකි.
මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම්.එස්. එම්. ෆයිසාල් මහතා විසින් බදුල්ල ශික්ෂණ රෝහලේ දී පෙරේදා (14) පවත්වනු ලැබීය.
බදුල්ල පොලීසියේ පොලිස් සැරයන් බණ්ඩාර, සුමනසිරි මහත්වරුන්ගේ මෙහෙයවීම මත වැඩිදුරටත් සාක්ෂි දෙමින් දුම්රිය රියැදුරු බන්දුල මහතා මෙසේ ද පැවසීය.
“මම නාවලපිටිය අබගමුව පාර පදිංචිව සිටින්නේ. දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියැදුරෙක් ලෙස වසර 23ක පමණ කාලයක් සේවය කරනවා. සිද්ධිය වූ දින පෙරවරු 10.45ට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී මම මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රිය භාර ගත්තා. එහි රියැදුරු ලෙස කටයුතු කළේ මම. මගේ සහායක ලෙස හිටියේ සූරියගොඩ.
නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පිටත් වූ දුම්රිය හාලිඇළ දුම්රිය ස්ථානයට ළඟා වී සවස 5.55ට පමණ හාලිඇළ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා. දුම්රිය නියමිත සාමාන්‍ය වේගයෙන් මා පදවාගෙන ගියේ.
දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට ආසන්න වන විට අමුණුවැල්පිටිය ප්‍රදේශයේ පිහිටි අංක 43 දුම්රිය බිංගෙය ආසන්නයේදී මම දුම්රියේ නළාව දිගින් දිගටම නාද කළා. මේ වෙලාවේ රතු පාට කමිසයක් ඇඳ දුම්රිය මාර්ගය මැද සිටි පුද්ගලයකු අතක් ඔසවා නැගිටින්න උත්සාහ කළා. නමුත් ඔහුට නැගිට ගැනීමට ශක්තියක් වේලාවක් තිබුණේ නෑ. ඒ සමඟම ඔහු දුම්රියේ එන්ජිමේ ගැටී විසිවී ගියා. පසුව මම දුම්රිය නවතා ඉන් බැස ඇවිත් බලනවිට කළුපාට කොට කලිසමක් සහ රතු පාට කමිසයක් ඇඳ සිටි ඔහු තුවාල ලබා ලේ විලක් මැද දුම්රිය මාර්ගය අසල වැටී සිටියා. ඔහු ඒ වනවිටත් මියගොස් සිටියා. පසුව දුම්රියේ ගිලන් ඇඳේ දමාගෙන ඒ දුම්රියෙන්ම බදුල්ල දුම්රිය ස්ථානයට රැගෙන විත් මළසිරුර බදුල්ල දුම්රිය ස්ථානයට භාර දුන්නා.”
මෙහිදී මියගිය අයගේ පියා වන බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් (61) නමැති අය සාක්කි දෙමින් මෙසේ කීය.
“මියගොස් සිටින්නේ මගෙ පුතා.මට දරුවන් දෙදෙනකු සිටිනවා. පුතා විවාහකයි. ඔහුට අවුරුදු 12ක දියණියක් ඉන්නවා. පුතා බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ පදිංචි අතර මම බදුලුපිටිය දියණියගේ නිෙවසේ ඉන්නේ. පුතා බදුල්ල ඌව මහ විදුහලේ පාසල් මුරකරුවකු ලෙස රැකියාව කළා. පුතා අවසන් වරට 11 වැනි දින අපගේ නිවෙසට ඇවිත් ගියා. 13 වැනි දින සවස 6.30ට පමණ දුරකතන ඇමතුමක් ආවා පුතාට කරදරයක් කියා. දුව කිවුවා දෙයියන්නේවෙල කරදරයක් යමු කියලා. පසුව අපි බදුල්ල රෝහලට බලන්න ගියා. නමුත් පුතා රෝහලට ගෙනවිත් තිබුණේ නෑ. පසුව බදුල්ල දුම්රිය ස්ථානයට ගිහින් බලනවිට දුම්රියේ ගැටී පුතා මියගොස් හිටියා. දුම්රිය රියැදුරු එම ස්ථානයේ හිටියා.
ඔහු කිවුවා පුතා දුම්රියේ ගැටී මියගිය බව. බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඇම්.කේ.බී. විජේතුංග මහතා මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14) රෝහලේදී පැවැත්වීය. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම්.එස්.එම්. ෆයිසාල් මහතා මෙය ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් වූ හදිසි අනතුරු මරණයක් බවට තීන්දු කළේය.
සොරණාතොට සමූහ – සී. ගමගේ