Home » “Marina” සංචාරක කර්මාන්තය සඳහා කොළඹ වරායේ සුවිශේෂී ආයෝජනයක්

“Marina” සංචාරක කර්මාන්තය සඳහා කොළඹ වරායේ සුවිශේෂී ආයෝජනයක්

by sachintha
January 16, 2025 1:15 am 0 comment

පසුගියදා කොළඹ වරාය නගරයෙහි විශේෂ නව සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා විදේශ කටයුතු සහ සංචාරක ඇමැති විජිත හේරත් චීන මහජන සමූහ ආණ්ඩුවේ තානාපති එච්.ඊ. Qi Zhenhong, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති හර්ෂ අමරසේකර ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම ආයෝජනය මෙරට සහ දකුණු ආසියාවේ සමුද්‍ර සංචාරක ව්‍යාපාරයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. LOLC සමූහ ව්‍යාපාරයේ උපායමාර්ගික ආයෝජන අංශය වන Browns Investments PLC (BI) සහ China Harbour Engineering Company (CHEC) අතර හවුල් ව්‍යාපාරයක් ලෙස Port City Colombo හි සුඛෝපභෝගී Marina සංවර්ධන කටයුතු සිදු කෙරේ. BI යනු Port City Colombo හි ආයෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය සමාගමක් වන අතර අද වනවිට විශාලතම ආයෝජකයා වන බව සඳහන් කිරීම විශේෂත්වයකි. Browns Investment PLC විසින් ඉඩම් කට්ටි හයක් සඳහා ආයෝජනය කර ඇති අතර, මෙම සංවර්ධනයට මරීනා දිස්ත්‍රික්කයේ බිම් කොටස් හතරක් ඇතුළත් වේ.

“කොළඹ වරාය නගරයේ පළමු සංවර්ධකයා ලෙස Browns Investments PLC මෙම සුවිශේෂී මුලපිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ අරමුණු කිහිපයක් පෙරදැරිවයි. මෙම ව්‍යාපෘතිය සුවිශේෂී ආයෝජනයක් මෙන්ම ආර්ථික ප්‍රගතියට දායක වන පුරෝගාමී පියවරක්. ”Brown and Company PLC හි සභාපති සහ LOLC Holdings PLC හි නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “දකුණු ආසියාවේ සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයේ සුඛෝපභෝගී සංචාරක ස්ථානයක් ලෙස මෙය පත්වනු ඇති බවයි. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී යාත්‍රා සඳහා කේන්ද්‍රස්ථානයක් වීමට ඉතා සුදුසු ස්ථානයක්. මෙම දියුණුව රටේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ නැංවීමට පමණක් නොව, සංචාරක හා සමුද්‍ර කර්මාන්තයේ ගෝලීය තරගකරුවකු ලෙස නැඟී සිටීමට ලැබෙන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

වර්ග මීටර් 33,776 ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති Marina Development හි සැඳෑ අවන්හල්, මුහුදු වෙරළේ අවන්හල්, සිල්ලර වෙ‍ෙළඳසල් සහ විනෝදාස්වාද අවකාශයන් ඇතුළු අති නවීන පහසුකම්වලින් සමන්විත අතර අමුත්තන් සඳහා විචිත්‍රවත් සහ නවීන පරිසරයක් නිර්මාණය කරයි. ගෝලීය ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති Marina, කලාපයේ පවතින යටිතල පහසුකම් හිඩැසක් පුරවමින් මධ්‍යම සිට විශාල ප්‍රමාණයේ යාත්‍රා 200ක් දක්වා නැංඟුරම් ලෑමේ ඉඩ පහසුකම් සැලසීමට නියමිතයි.

“අමෙරිකානු ඩොලර් මිලියන 120ක සම්පූර්ණ ආයෝජනයක් සමඟින් Marina Development 2027 වනවිට නිම කිරීමට නියමිතයි” යනුවෙන් LOLC Holdings PLC හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා පැවසීය. “මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු ආර්ථික ක්‍රියාකාරකම්වලට පණදීමට නියමිත අතර කොළඹ නගරය සමුද්‍රීය විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරන අතරම සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවට මූලිකත්වය දීමට ඇති හැකියාව අවධාරණය කරයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT