මේ කියන්නේ බදුල්ල පැත්තේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි තරුණ සිසුවියන් පිරිසකට සිදු වූ සිද්ධියක් පිළිබඳ අපූරු කතාවක් ගැනය. නිවාඩුවට ගම්බිම් බලා ගොස් ආපසු පැමිණි මේ තරුණියෝ සිය බෝඩිං කාමරවලට වැදී ඇඳුම් පැලඳුම් උනා දමමින් ගිමන් හරිමින් සිටියහ. ගෙදරින් ඔතාගෙන ආ තරමක් විශාල කදමලුවල බහා තිබූ ආහාරපානාදිය එළියට ගත් මොවුහූ දිවා ආහාරය ගන්නට සූදානම් වූයේ රොත්තම එකට එක්වෙමිනි. ඒ වෙද්දිත් ඇතැම් තරුණියන් අඩ නිරුවතින් ආහාර බුදින්නට පටන් ගෙන තිබුණේ ‘කොයික කරන්නත් කාලා ඉන්න එපැයි’ කියමිනි. බෝඩිං කාමරයේ තදබදය එක්ක තිබූ අධික රස්නය හේතුවෙන් එක් තරුණියක් අසල තිබූ ජනේලයක් ඇරියේ ‘හුළං ටිකක්වත් වැදුණේ නැත්නම් කාලා ඉවර වෙද්දි ඔක්කෝම මැරෙයි බං’ කියමිනි. එහෙත් මේ දඩිබිඩි කෑම ගැන ඉව වැටී ජනේලයෙන් එළියේ සිටි කෙනෙක් ගැන මේ තරුණියන් දැන සිටියේ නැත. ගෙදරින් එද්දි රසට රසේ උයාගෙන ආ කෑමවල සුවඳ විඳිමින් ජනේලයෙන් එළියේ සිටි රිළා නැට්ටෙක් එකවරම මේ කාමරයට පැන මේසය කෙළවරේ තිබූ තවත් බත් පාර්සලයක් ලෙහන්න ගත්තේ කෙල්ලන්ගේ ඉහමොළ රත් කරමිනි. ගත වූයේ නිමේෂයකි. මේ රිළවා දුටු තරුණියෝ යටිගිරියෙන් කෑගසමින් බෝඩිං කාමරයෙන් එළියට දිවයන්නට විය. තරුණියන්ගේ මරළතෝනිය ඇසුණු අසල්වැසි කාන්තාවක් එතැනට දිව ආවේ සිහියක් පතක් නැතිවය. එහෙත් ඇයගේ ඇස් උඩ ඉන්දවුණේ තරුණියන් දෙස බැලීමේදීය. ‘‘මොකද ළමයිනේ මේ…? කෝ ඔය ළමයින්ගේ ඇඟේ තියෙන ඇඳුම්… ඒවත් රිළවා ගත්තද?” තමන් බේරාගැනීමට පැමිණි අසල්වැසි කත කියූ දෙයින් තරුණියෝ උඩ බිම බැලූහ. ‘‘දෙයියනේ අපේ ඇඳුම්…” දවල් සප්පායමට හදිසියෙන් සිටි ඔවුන් ඒ වන විටත් සිට ඇත්තේ අඩ නිරුවතින් බව දැන ගත්තේ එවිටය. වහාම ක්‍රියාත්මක වූ අසල්වැසි කත මේ තරුණියන් සිය නිවෙසේ කාමරයකට දමා රිළවා එළවා නේවාසිකාගාරයට ගොස් ඔවුන්ගේ ඇඳුම් ගෙනැවිත් දුන්නේ ‘‘අපටත් දරුවෝ ඉන්නවනේ“ කියමිනි. මේ සිදුවීමෙන් පසු තරුණ සිසුවියන් පිරිස යළි බෝඩිමට ආවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.
සොරණාතොට සමූහ – සී. ගමගේ