Monday, April 21, 2025
Home » විදෙස් සංචාරයකදී පවුල සමඟ කාලය දින 14කට සීමා කරයි
ටෙස්ට් පරාජ 6කින් පසු ඉන්දීය ක්‍රිකට් කෝටුව අතට ගනී

විදෙස් සංචාරයකදී පවුල සමඟ කාලය දින 14කට සීමා කරයි

-වෙනම ගමන් බෑ: කණ්ඩායම සමඟ පමණයි

by sachintha
January 15, 2025 2:00 am 0 comment

ඉන්දීය ක්‍රිකට් පිලේ අඛණ්ඩ පරාජයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වාදී නීති දැඩි කොට තිබේ. නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් ටෙස්ට් තරග අටේදී ඉන්දීය කණ්ඩායම ලැබූ දරුණු පරාජයන් 6ක් වාර්තාවීමෙන් පසු තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර්, නායක රෝහිත් ෂර්මා සමඟ ඉන්දීය ක්‍රිකට් ආයතන නිලධාරීන් පැවැත්වූ රැස්වීමකදී නව තීරණ රැසකට එළැඹියේය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ භාර්යාවන් සහ පවුලේ අය සමඟ පරාජයට පත්වූ නවසීලන්ත හා ඔස්ට්‍රේලියා මුළු සංචාරයේදීම හෝටලයේ එකට සිටිය ද, ඉදිරියේ පැවැත්වෙන දින 45ක විදෙස් සංචාරයකදී ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිය ඇතුළු පවුලට උපරිම වශයෙන් දින 14ක කාලයකට සීමා පනවා ඇත. සංචාරය කෙටි නම් බිරිය ඇතුළු පවුලට උපරිම කාලය දින හතකට සීමා වේ. ගුවන් ගමන් අතරතුර ඕනෑම ක්‍රීඩකයෙකු තමන් සන්තකයේ ඇති ගමන් මලුවල බර කිලෝග්‍රෑම් 150 ට වඩා වැඩි නම්, ක්‍රීඩකයා ඒ වෙනුවෙන් ගුවන් සමාගම් වෙත මුදල් ගෙවිය යුතු වේ.

භාර්යාවන් සමඟ එකට සිටින බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සමඟ බස් රථයේ නොගොස් පවුලේ අය සමඟ ක්‍රීඩාංගණයට හා වෙනත් ස්ථානවලට වෙනම ගමන් කිරීම මෙතෙක් සිදු වුවද ඉදිරි සංචාරවලදී එය තහනම් කොට ඇත. කණ්ඩායම් සමගිය උදෙසා සියලු ක්‍රීඩකයින් කණ්ඩායමේ බස් රථයෙන් පමණක් ගමන් කළ යුතු බවත්, කෙතරම් ජ්‍යෙෂ්ඨයෙකු වුවද වෙනම ගමන් කිරීමට ඉඩ නොදෙන බවත් දැනුම්දී ඇත.

මේ අතර ප්‍රධාන පුහුණුකරුට හා ඔහුගේ පුද්ගලික කළමනාකරු සම්බන්ධයෙන් නව නීතිරීති පනවා ඇත. පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ කළමනාකරු ගෞරව් අරෝරා ඔහු සමඟ නිතරම සංචාරයේ රැඳී සිටීම ද අවධානයට ලක්කොට තිබේ. මෙයට පෙර කිසිම ප්‍රධාන පුහුණුකරුවෙකුට පුද්ගලික කළමනාකරුවෙකු නොසිටිය ද ගම්භීර්ගේ කළමනාකරු හා ගම්භීර් වෙනමම ගමන් කිරීම තහනම් කොට ඇත.

ඔස්ට්‍රේලියානු සංචාරයේ පරාජයෙන් පසු ඉන්දීය කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩලය පිළිබඳව ද ප්‍රශ්න මතුවෙමින් තිබේ. කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් වසර ගණනාවක් කණ්ඩායම සමඟ සිටීම නිසා කාර්ය සාධනය එකතැන පල්වී ඇති බවත්, සහායක කාර්ය මණ්ඩලයේ සේවා කාලය වසර 3කට සීමා කළ යුතු බවත් තීරණය කර ඇත.

ප්‍රින්ස් ගුණ‍සේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT