වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය පෙරේදා (13) සවස මාර්ගෙයන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ රියැදුරු පුත්තලම මූලික රෝහලින් හලාවත මහ රෝහලට මාරු කර යවා ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි. වනාතවිල්ලුව රෝහලේ පැවති වෛද්‍ය සායනයක් සඳහා පුත්තලම මූලික රෝහලේ සිට වෛද්‍යවරයකු රැගෙන ගොස් සායනය අවසන් වී වෛද්‍යවරයා නැවත පුත්තලම රෝහලට ඇරලවා ආපසු වනාතවිල්ලුව බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
කිසියම් හේතුවක් මත ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසු විදුලි කණුවක ගැටී විදුලි කණුව දෙකට කැඩීමෙන් පසු ගිලන් රථය මතට විදුලි කණුව පාත් වී තිබූ බවත් සිදුවීමට තිබූ දැවැන්ත විනාශයක් යාන්තමින් වැළකී ගොස් තිබූ බවත් පොලීසිය පවසයි.
අනතුර සිදුවන මොහොතේ ගිලන් රථයේ රියැදුරු පමණක් ගමන් කර ඇති අතර, ඒ හේතුවෙන් රියැදුරු පමණක් පාදයක් හා එක් අතක් බිඳීමකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරත් සමඟ වනාතවිල්ලුව හා පුත්තලම නගරයේ කොටසකට පැය තුනකට ආසන්න කාලයක් විදුලිය ඇනහිට තිබූ අතර, පසුව පුත්තලම විදුලිබල මණ්ඩල නඩත්තු ඒකකය පැමිණ විදුලිය විසන්ධි කර ගිලන් රථය ඉවත් කර ගැනීමට අවස්ථාව ලබා දී වෙනත් විදුලි කනුවක් සවි කිරීමට කටයුතු කර ඇත.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ වනාතවිල්ලුව සමූහ – ප්‍රියංකර කළුපහන