පදවිය පුල්මුඩේ පාර ඌරෑව ගම්මානයේ ඇති ප්‍රාථමික පාසල වසර තිස්පහක් මුළුල්ලේ කැලෑවට ඇර, තම දරුවන්ගේ අනාගතය වළපල්ලට ඇද දැමීමට පළාත් අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කර ඇතැයි ඌරෑව ගම්මානයේ මව්පියෝ චෝදනා කරති.
එය 1973 වර්ෂයේ ආරම්භ කෙරුණු පාසලක් බවද ගම්වැසියෝ පවසති.
ධීවර රස්සාව සහ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් මෙම ගමේ පවුල් හැටකට ආසන්න පිරිසක් ජීවත් වෙති. 1989 වර්ෂයේ රටේ පැවැති යුදමය වාතාවරණය නිසා තම ගෙවල් දොරවල් අහිමිව අනාථ කඳවුරුවල ගාල්වීමට ඔවුනට සිදුවූ බවත්, ඒ හේතුව නිසා 1989 වර්ෂයේ මෙම ඌරෑව ප්‍රාථමිකය ඉබේටම වැසී ගිය බවත් ඌරෑව ගම්වැසියෝ සඳහන් කරති.
පසුව යුද්ධය නිමාවීමෙන් අනතුරුව අනාථ කඳවුරුවලින් නිදහස් වී යළි ඔවුන් 2010 වර්ෂයේ තම ගම්බිම් කරා පැමිණ එතැන් සිට මේ දක්වාම එහි ජීවත් වුවද වැසී ගිය පාසල තවමත් කැලේට වැසී ඇති බවත් මවුපියෝ චෝදනා කරති.
මේ සම්බන්ධව ඌරෑව තුලානේ ප්‍රජා පොලිස් කමිටුවේ හිටපු සභාපති ටී. පියදාස ජයවීර (70) මහතා අපට පැවසුවේ මෙවැනි අදහසකි. “මං හිතන්නේ ලංකාවේ කිසිම දේශපාලකයෙක් හෝ ඉහළ තානාන්තර දරන නිලධාරීන් හෝ ඌරෑව ඕමාරකඩ කියලා ගමක් ලංකා සිතියමේ තියෙනවා කියලා දන්නෙවත් නැතුව ඇති. ළමයින්ට දහම් පාසල් යන්ඩ විදිහක් නෑ. පෙර පාසල් යන්න විදිහක් නෑ. ඉස්කෝලේ ගේ දොරකඩ තියාගෙන කිලෝමීටර් අටක් මහා වනාන්තරයක් මැදින් දරුවෝත් කරේ තියාගෙන මඩ වගුරක් වගේ තියන පාරක බඩගාන්ඩ වෙලා තියෙන්නේ.”
පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 11 ග්‍රාම නිලධාරි වසමට අයත් ඕමාරකඩ සහ ඌරෑව යන ගම් දෙකේ දරුවන් 35කට ආසන්න පිරිසක් කිලෝමීටර් අටකට එහා ඇති මහසෙන්පුර මහා විද්‍යාලයට සහ දළුග්ගල විද්‍යාලයට දිනපතා උදේ හවස යතුරුපැදිවල නංවාගෙන යන ගමනේදී ඔවුන්ට තෙල් වියදම සඳහා රුපියල් 15000කට අධික මුදලක් මාසිකව වැය වන බවද දෙමව්පියෝ සඳහන් කරති.
දෙදරු මවක් වූ නිලූකා කුමාරි මහත්මියද මෙසේ අදහස් දැක්වූවාය.
පහේ පන්තියට විතරක් තිබුණු ගමේ ඉස්කෝලේ වැහෙන්න නොදී පැවැත්වූවා නම් මේ දරුවන්ට මේ තරම් දුරක් ගෙවාගෙන උගන්වන්න යන්න ඕනද? ගමේ ඉස්කෝලයක් නැත්නම් අපට හිත හදාගන්න පුළුවන්. ගමේ ඉස්කෝලයක් තියෙනවා, ගුරු නිවාසයක් තියෙනවා, බුදු මැදුරක් තියෙනවා, සෙල්ලම් මිදුලක් තියෙනවා. ඒ හැම සම්පතක්ම තිෙයද්දිත් ඇයි මේ ඉස්කෝලේ කැලේටම වැහෙන්න ඉඩදීලා ඉන්නේ.
අප එම පාසලට යන විට පාසල් යන වයසේ පසුවුණු එම ගමේ පදිංචි දරු දැරියන් අප වටකරගෙන අපෙන් විමසා සිටියේ Òඅංකල්, අපේ ගමේ ඉස්කෝලේ කවද්ද අරින්නේ? කැලෑව සුද්ධ කරලා ඉක්මනට අරිනවා නේද යනුවෙනි.
ඌරෑව පාසල කැලේට වැසීයෑම පිළිබඳව අප කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්යක්ෂ රුවන් මෛත්‍රීපාල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙලෙස අදහස් දැක්වීය.
“පාසලක් විවෘත කරනවා කියන එක තරමක් අසීරු කාරණාවක්. දැන් තියෙන නිර්ණායකවලට අනුව ළමයි පනහකට අඩු පාසල් වැසීයාමේ තර්ජනයක් තිබෙනවා. ඔය කියන පාසලේ ළමයි පනහකට වැඩි ප්‍රමාණයක් සිටිනවා නම් අපට ඒක උසස් නිලධාරීන්ට යොමු කරන්න පුළුවන්. හැබැයි ඔය ගමේ ඉඳලා කිලෝ මීටර් අටක් දුර වෙනත් පාසල්වලට දරුවන් ගෙනයෑම වියදම් අධික කාරණාවක් නම් ඒකට අපට පාසල් බස් රථයක් යොදවන්න පුළුවන්. ගමේ වැහිලා තියෙන පාසලේ පෙර පාසලක් ආරම්භ කරන්නත් පුළුවන්.
කොහොම නමුත් මේ ගැටලු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට දාලා අදාළ තැන්වලට අනුපිළිවෙළින් යවන්න ඕන. අපි උපරිම උත්සාහයක් කරලා ඌරෑව ගමේ පාසැලේ ගැටලුව ඉහළ බලධාරීන්ට යොමු කරමු. ගමේ මව්පියන්ට එම ගැටලු ලිඛිතව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා යොමු කළොත් බොහෝදුරට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේවි” යැයි අධ්‍යාපන අධ්යක්ෂවරයා කීවේය.
කැබිතිගොල්ලෑව විශේෂ – හේමන්ත රණසූරිය