නූතනත්වය සහ සම්ප්‍රදාය මුසු කොට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ නමින් ප්‍රදර්ශනයක් මෙරටදී පැවැත්වීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ තේමාවෙන් ජංගම ප්‍රදර්ශනයක් මාලිගාකන්ද මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාරයේදී ආරම්භ කළ අතර, නූතන ඉන්දීය කලාවේ ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන ලද බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා නිරූපණය වන සහ බුදු දහම සහ ආධ්‍යාත්මය යන විෂයයෙහි වැදගත් වන සිතුවම් රැසක් ප්‍රදර්ශනයට ඇතුළත් වන බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
නූතනත්වය හා සම්ප්‍රදාය එකට මුසු වූ මේ ප්‍රදර්ශනය බෞද්ධ දර්ශනයේ සදාකාලික හරය කැටි කර ගනිමින් එහි විශ්වීය අදාළත්වය ඉස්මතු කරන බව පෙන්වා දෙන මහකොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ නවදිල්ලි නූතන කලාගාරය විසින් සම්පාදනය කරන ලද මේ ප්‍රදර්ශනය ප්‍රථමවරට පසුගිය වසරේ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මෙරට ප්‍රදර්ශනය කරන ලද බව ද කියා සිටී.
මහකොමසාරිස් කාර්යාලය මේ වසරේ සෑම පොහෝ දිනකදීම දිවයින පුරා විහාරස්ථානවල මේ ප්‍රදර්ශනය සංවිධාන කරන අතර, ඊට සමගාමීව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් දැනට පවත්වන ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමය පිළිබඳ ප්‍රදර්ශනය ද 12 වැනි වරටත් මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාරයේදී පැවැත්විණි.
හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජනරාල් කාර්යාලය ද දුරුතු පොහෝ දිනය නිමිත්තෙන් ‘ඉන්දියාව ශ්‍රී ලාංකේය ඇසින්’ නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් කසාගල රාජමහා විහාරයේදී සංවිධාන කෙරිණි. මේ ප්‍රදර්ශනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ සහ හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජනරාල් හර්වින්දර් සිං මහත්වරුන් විසින් විවෘත කළ අතර, එම අවස්ථාවට කසාගල රාජමහා විහාරයේ විහාරාධිපති ඉන්දසිරි සුමන හිමියෝ ද සහභාගි වූහ.
මහින්ද අලුත්ගෙදර