Tuesday, April 8, 2025
Home » රට ගිහින් ටික්ටොක්වලට පුරුදු වුණ අම්මට දරුවන් අමතක වෙලා

රට ගිහින් ටික්ටොක්වලට පුරුදු වුණ අම්මට දරුවන් අමතක වෙලා

-දරුවන් රකින්න තාත්තා නොවිඳිනා දුක් විඳිනවා

by sachintha
January 15, 2025 1:28 am 0 comment

රට ඉඳලා ගෙදර ඇවිත් හිටියේ දවස් හතයි. එක දවසක් පොඩි පුතා ටවුමට එක්කන් ගිහින් දරුවා ටවුමේ අතරමං කරලා පැනලා ගියා – පියා කියයි

පුංචි දරුවන්ගේ සිහිනවලට පණ දෙන්න එතෙර ගිය මවක් ටික්ටොක්වලට පුරුදුවී දරුවන් සිවු දෙනා අමතක කර දැමීම නිසා අසරණ වූ පියකු දරුවන් රැක ගැනීමට දරන උත්සාහයක් පිළිබඳව දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස දරුවන් රැක ගැනීමට වෙහෙසෙන්නේ දඹුල්ල, සළු අපුල්ලන වැව පාර ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු තිස් හතක් වූ එම්. ඒ. පුබුදු ලක්මාල් නම් සිවු දරු පියාය.

තමා මුහුණදී ඇති තත්ත්වය පිළිබඳව පුබුදු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මම පුතාලා හතර දෙනා එක්ක පොඩි කාමර දෙකක් තියෙන ගෙදරක තමා ජීවත් වෙන්නේ. උදේ පහට නැඟීටලා පුතාලට කෑම උයලා පුතාලා තුන්දෙනෙක් ඉස්කෝල තුනකට අරන් යනවා. මේ තුන්දෙනාට ඉස්කෝලෙ ඇරෙන්නේ වෙලාවල් දෙකකට. කොහොම හරි ඒ වෙලාවල් වරද්දන්නේ නැතිව පුතාලා ඉස්කෝලෙන් ගන්නවා. ඒ අතරවාරේ දවල් කෑම ටිකත් හදලා, දරුවන්ගේ රෙදි ටිකත් හෝදා, ගෙදරත් පිරිසිදු කරනවා.

මේ වැඩ කරලා ඉවර වෙද්දී මට රස්සාවක් කර ගන්න වෙලාවක් නෑ. සමහර දවස්වලට රෑත් කුලී වැඩවලට ගිහින් දරුවන්ගේ බඩගින්න නිවන්න කීයක් හරි හොයා ගන්නවා. දරුවන්ට ඉස්කෝලෙ යන්න පොත්පත් ගන්න, ඇඳුම්පැලඳුම් ගන්න බැරුව ඉන්න වාර අනන්තයි.

අපි විවාහ වුණේ යාළුවෙලා. අපි පුංචි කටුමැටි ගෙදරක පදිංචි වෙලා දරුවෝ හතර දෙනෙක් හැදුවා. ඒ දරුවන්ගේ අනාගතයේ යහපත් කරන්න කියලා එයා කුවේට් ගියා. මම දරුවෝ බලා ගත්තා. ටික දවසක් යද්දී එයා එකපාරම අපට කතා කරන්නේ නැතුව ගියා. මට අහල පහළ අය කතා කරලා පෙන්නුවා එයා එක එක සමාජ මාධ්‍යවල ටික් ටොක් වීඩියෝ කරනවා. එක එක සිංදුවලට නටනවා. මම ඒවා දැක්කා. එයා අපට කතා කරන්නේ නැතුව මේ දේවල් කරනවා මට බලාගෙන ඉන්න බැරි හින්දා මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගියා. ඊට පස්සේ එහෙදී මට කිව්වා, එයා මේ වෙනකොටත් ලංකාවට ඇවිල්ලා කියලා. පස්සේ පොලීසියට පැමිණිල්ලක් කරලා එයා හොයාගෙන ගෙදරට එක්කගෙන ආවා. ගෙදර ඇවිල්ලා දවස් හතයි හිටියේ. එයා ටවුමට යනවා කියලා පොඩි පුතා එක්ක ගිහින් ඒ දරුවා ටවුමේ අතරමං කරලා පැනලා ගිහින්. පස්සේ පුංචි පුතා ත්‍රිවිල් රියැදුරු මහත්තයෙක්ගේ උදව්වෙන් ගෙදර ආවා. එදා ඉඳලා අද වෙනකල් මේ දරුවෝ මං මගේ ඇස් වගේ බලා ගන්නවා. අපි පොල් සම්බෝලයක් එකක් බතක් උයාගෙන කනවා. දරුවෝ දාලා මං කොහොමද රස්සාවකට යන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපට ආධාරයක් උපකාරයක් කරන්න.”

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT