Home » ප්‍රාතිහාර්යය පෑ ජුසේ වාස් පියතුමා

ප්‍රාතිහාර්යය පෑ ජුසේ වාස් පියතුමා

by sachintha
January 15, 2025 1:49 am 0 comment

එතුමන් සුද්ධවරයට ඔසවා වසර දහසයක් උදාවන මේ වසරේ එතුමන්ගේ මංගල්‍ය ජනවාරි 19 වැනි ඉරුදින දිවයින පුරා

කතෝලික සභාව ධර්මදූතවරුන්ගේ වන්දනා නඩයකි. එය පේදුරුතුමා නමැති පර්වතය මත ස්ථාවරව පිහිටුවා, කිතු සමිඳුන් ලැබදුන් ආඥාව සකල සත්වයා වෙත සුභ අස්න දේශනා කිරීම පැවරුණි. අපෝස්තුළුවරු සියදිවි පරදුවට තබා එම ආඥාව අනුව දිවි ගෙවූහ. විවිධ බාධක, කරදර ඔස්සේ ක්‍රියාත්මක වෙමින් සිය කැඳවීමට පක්ෂපාතී වූහ. ශ්‍රී ලාංකේය කතෝලික සභාවට හානිකර අවස්ථාවක් නිර්මාණය වූයේ අප මුතුන්මිත්තන්ගේ විශ්වාසය අභියෝගයට ලක් කරමිනි.

පෘතුගීසීන් විසින් ශ්‍රී ලාංකේය කතෝලික සභාව ස්ථාපිත කර පෝෂණය කළේ ස්ථාවර පදනමක පිහිටුවාලමිනි. වර්ෂ 1505 නොවැම්බර් මස මෙහි පැමිණි ඔවුහු සිය ධර්මදූත මෙහෙවර මනාව දියත් කළහ. කෝට්ටේ රජ කළ බුවනෙකබාහු රජු විසින් සිය නියෝජිත පිරිසක් පෘතුගාලයේ ජුවාම් රජු වෙත යවා ධර්මදූතවරු පිරිසක් මෙහි එවන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව ෆ්‍රැන්සිස්කානු ධර්මදූතවරු පිරිසක් 1554දී මෙහි පැමිණීම මෙරට ධර්මදූත කටයුතුවල සන්ධිස්ථානයක් විය. ඔවුහු විවිධ ප්‍රදේශ අනුව බෙදී සාර්ථක දහම් මෙහෙවරක් දියත් කළහ. අනතුරුව විවිධ නිකායන් මෙහි පැමිණ සාර්ථක ධර්මදූත ක්‍රියාවලියක් දිවයින පුරා ව්‍යාප්ත කළහ.

කෝට්ටේ රජු පෘතුගීසින් පන්නා දැමීමේ අරමුණින් ලන්දේසි සහාය පැතීය. ඒ අනුව ලන්දේසීන් විසින් පෘතුගීසි බළකොටු එකින් එක යටත්කර ගනිමින් වර්ෂ 1658 අවසාන පෘතුගීසි බළකොටුව වූ යාපනය යටත් කරගන්නවාත් සමඟම පෘතුගීසි යටත්විජිත සමය නිමාවට පත්විය. පෘතුගීසින් මෙරටින් නෙරපා දැමීම සඳහා රජු සමඟ ඇති කරගත් ගිවිසුම අනුව කතෝලික සමය ඇදහීම තහනම් කර ආඥා නිකුත් කෙරුණි. ඒ ආඥා අතර විශේෂ එකක් වූයේ පූජක තහංචියයි. ඒ වනවිට මෙහි ධර්මදූතවරු දෙසීයක් පමණ දෙනා සේවය කරමින් සිටි අතර, කතෝලික ජන සංඛ්‍යාවද මනාව වර්ධනය වී තිබුණි. නව ලන්දේසි යටත්විජිතවාදීහු විශේෂයෙන්ම දේශපාලන හේතූන් මත කතෝලික දහම තහනම් කිරීමද පූජක තහංචියද දැඩි ලෙස ක්‍රියාත්මක කළහ. දශක කිහිපයක් පූජකවරු නොමැතිව කතෝලිකයින් අසරණව සිටි අතර ලන්දේසි ප්‍රොතෙස්තානු දහමට ඔවුන් හරවා ගැනීමට විවිධ බලපෑම් කෙරුණි. ඒ අනුව කතෝලිකයින් එඬේරෙකු නොමැති බැටළු රැළක් මෙන් අසරණව සිටියෝය.

ශ්‍රී ලාංකේය කතෝලිකයින්ගේ අභාග්‍යමත් වාතාවරණය පිළිබඳ මහත් අවධානයෙන් පසුවූ ගෝවේ අගරදගුරු පදවි පූජකයකු වූ ජුසේ වාස් පියතුමා මෙහි ධර්මදූතවරයකු ලෙස පැමිණීමට අධිෂ්ඨානය කළේය. ඒ කාර්යය ඉටුකරගැනීම පිණිසත් මතුකලෙක අඛණ්ඩව ධර්මදූතවරු සපයාදීම පිණිසත් ගෝවේ ඔරතෝරියානු සංඝය පිහිටුවීය.

මනා නායකත්වයකින් ආධ්‍යාත්මික වර්ධනයක් ඇතිකර සංවිධානය කළ එම පූජක සංඝයේ නායකත්වය පස්කුවාල් ජෙරමියස් කොස්තා පියතුමා වෙත පවරා සිය ධර්මදූත මෙහෙවර සඳහා අවධානය යොමු කළේය. තවත් පියතුමන්ලා දෙදෙනකු සහ තම සේවක ජෙරින් සමඟ ලංකාවට යාම සඳහා පිටත් වුණ ද අතරමඟදී පියතුමන්ලා දෙදෙනා ගමනේ දුෂ්කරතා අභියෝගාත්මක බව අවබෝධ කරගෙන ආපසු ගියහ. ජුසේ වාස් පියතුමා තම සේවකයාත් සමඟ තුතුකොරින් නාවුක තොටුපළින් කුලීකරුවන් මෙන් වෙස්ගෙන යාපනය බලා නැව් නැංගද එම නැව කුණාටුවට හසුවී තලෛමන්නාරමේ සවුත්බාර් නම් ස්ථානයට ගොඩබසින ලදි. එහි සිට යාපනය බලා ගොස් සිඟන්නෙකුගේ වෙස්ගෙන ජපමාලය ගෙල පැලඳගෙන කතෝලිකයින් සොයා ගියේය. ඔවුන් එක්රැස් කළ පියතුමා ස්ථිර සංඝ ලෙස ගිහි නායකත්වය මත සංවිධානය කළේය. ගිහි නායකයින් “අන්නාවි”, “මුහුප්පු අන්නාවි”, “කෝවිල් පිල්ලේ” යන නම්වලින් හඳුන්වා පත්කළ පියතුමා අනතුරුව පුත්තලම බලා ගමන් කළේය.

පුත්තලමේදී සිය සහායට පැමිණ සිටි පියතුමන් එහි නවතා මාඔයෙන් එතෙර වී තම ප්‍රථම ධර්මදූත චාරිකාව මීගමුව බලා ගමන් කළේය. එහිදී කතෝලික සැදැහැවතුන් රැස්කර මනා ආගමික සංස්කෘතියක් බිහිකර “පුංචි රෝමය” ලෙස සංවිධානය කළේය. පෙරළා පුත්තලම බලා පැමිණි ජුසේ වාස් පියතුමා අන්තෝනියෝ සෙට්ටුමයාර් නම් වෙළෙන්දකුගේ මඟපෙන්වීම අනුව දහම් මෙහෙවර සඳහා මහනුවර බලා පිටත්විය. වෑඋඩ නමැති ස්ථානයේදී මහනුවර රජුගේ සොල්දාදුවන් විසින් එතුමන් පෘතුගීසි ඔත්තුකරුවකු යැයි සැකකර අත්අඩංගුවට ගෙන බෝගම්බර සිරගෙහි සිරකරුවකු කරන ලදි. එකල මහනුවර ප්‍රදේශ සිසාරා දැඩි නියං කාලයක් ඇතිවිය. ධර්මදූතවරයකු ලෙස හඳුනා සිටි ජුසේවාස් පියතුමා හට රජුගේ ඇරයුම අනුව දෙවිඳුන් යදිමින් වර්ෂාව ලැබ දෙන ලෙස ඉල්ලීමක් කළේය.

විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ වන්දනා ගමනක නියැළි ධර්ම දූතවරයකු ලෙස ජුසේ වාස් පියතුමා පුදසුනක් පිහිටුවා ඒ මත කුරුසිය තබා මහජනකායක් මැද දෙවිඳු යැදීමට යොමු වනවාත් සමඟම අහස විවර වී ධාරාණිපාත වැසි ඇද හැලෙන්නට විය. මේ ප්‍රාතිහාර්ය පිළිබඳ ඔරතෝරියානු වාර්තා සහ ලිපිවල පමණක් නොව ඓතිහාසික ග්‍රන්ථයක් වූ විජිත වල්ලියෙහිද කරුණු දක්වා ඇත.

ශුද්ධ වූ ජුසේවාස් මුනිඳුන්ගේ දැඩි අධිෂ්ඨානයත් සුද්ධවන්ත ජීවිතයක් ධර්මදූත ජ්වලිතකමත් අනුව අනතුරුව මුළු දිවයින පුරා පාගමනින් ගොස් කතෝලික දහම යළිත් ස්ථාපිත කළේය. එතුමන් සුද්ධවරයට ඔසවා වසර දහසයක් උදාවන මේ වසරේ එතුමන්ගේ මංගල්‍ය ජනවාරි 19 වැනි ඉරුදින දිවයින පුරා පැවැත්වීමට ජාතික ජුසේවාස් මුනි කාර්යාල රැස්වීමේදී අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් සමඟින් යෝජනා විය. එයට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේද අනුමැතිය ලැබ ඇත. ඒ අනුව මෙවර මංගල්‍ය “සුද්ධ වූ ජුසේ වාස් මුනි සමඟින් විශ්වාසයේ වන්දනාකරුවෝ වෙමු අපි” යන තේමාව ඔස්සේ සියලුම රදගුරු පදවිවල සියලු දේවස්ථාන ආශ්‍රිතව මෙවර මංගල්‍ය සැමරීමට කටයුතු සලසා ඇත. දිව්‍ය පූජාව සඳහා හැඳින්වීම සහ විශ්වාසිකයන්ගේ යැදුම් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ලැබදීමට ජාතික ජුසේවාස් මුනි කාර්යාලය කටයුතු යොදා ඇත. සකල ශ්‍රී ලාංකේය සැදැහැවතුනට සුද්ධවූ ජුසේ වාස් මුනිඳුන්ගේ යාච්ඤා පිහිටෙන් දේවාසිරි ලැබේවා!

ඇන්ටනි ප්‍රනාන්දුපුල්ලෙ පියතුමා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT