කතෝලික සභාව විසින් 2025 වසර ජුබිලි වසරක් ලෙස නම්කර ඇති අතර, එහි තේමාව වන්නේ ‘බලාපොරොත්තුවේ වන්දනාකරුවන්’ යන්නය. එම තේමාවට අනුව කිතුනු අපේක්ෂා සහ ජීවිත පැවැත්ම කෙසේ විය යුතුද යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉපැරණි සඟරාව වන භක්ති ප්රබෝධනය සඟරාවේ සංස්කාරක ගරු එමාඩ් දල්පතාදු (නි.ම.නි.) පියතුමා සමඟ කළ සාකච්ඡාවකි මේ.
l ජුබිලි වසරේ තේමාව සහ කිතුනු බලාපොරොත්තුව?
අතීතයේ සිට ජනතාව තමන්ගේ ඇදහිල්ල, විශ්වාසය පෙරදැරි කර ගනිමින් පවුල් වශයෙන් පමණක් නොව කණ්ඩායම් වශයෙන් වන්දනා ගමන් ලෙස විවිධාකාර සිද්ධස්ථානවලට ඒකරාශී වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. මඩු පල්ලිය, තලවිල ශාන්ත ආනා පල්ලිය, මාතර සිද්ධස්ථානය ආදී සිද්ධස්ථාන කරා සැතපුම් ගණන් දුර ගෙවාගෙන, බර කරත්තවලින් ඇතැම් විට පා ගමනින් කටුනේරිය, මීගමුව, මොරටුව, මෝදර ආදී ප්‍රදේශවල සිට ජනතාව දහස් ගණනින් වන්දනා ගමන්වල නිරත වූ ආකාරය වාචික සම්ප්රදායේ සඳහන් වෙනවා. ඒ කාලයේ වන්දනා ගමන් ඉතාම අවදානම්. ගමනාගමනය ඉතා දුෂ්කරයි. මඟ දිගට භයානක වන සතුන්ට පවා මුහුණදීමට සිදු වුණා. නැවත ගම් බලා එන්න ලැබෙයිද කියලත් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් ජනතාව එවැනි අවදානමක් දරමින් වන්දනා ගමන්වල යෙදුණේ දෙවියන් කෙරෙහි විශාල විශ්වාසයක්, භක්තියක් පෙරදැරි කරගෙනයි. ඒ විශ්වාසය අතීතයේ සිටම මෙවැනි වන්දනා ගමන්වලින් පිළිඹිබු වුණා. ඒ අනුව කිතුනු ජීවිත ඇදහිල්ලේ වන්දනා ගමනක් බව මේ තේමාව සමඟ මනාව ගැළපෙනවා.
l වන්දනා ගමනක සැබෑ පරමාර්ථය?
අද වන විට ජනතාව රට තුළ පමණක් නෙවෙයි වෙනත් රටවල විශේෂ සිද්ධස්ථාන කරා පවා ගුවනින් වන්දනාගමන්වල නිරත වනවා. ඒත් අතීතයේ වුවත් වර්තමානයේ වුවත් කවුරු කුමන ස්ථානයකට ගියත් ඒ යන හැම වන්දනා ගමනකටම පොදු සාධක කිහිපයක් තිබෙනවා.
වන්දනා ගමනක් කියන්නේ තාවකාලික ගමනක්. නැවත ඒමට යන ගමනක්. ඒ ගමනේදී නැවතීමට අප ස්ථිර වාසස්ථාන හදන්නේ නැහැ. තාවකාලික කූඩාරමක, නවාතැන්පොළක නවාතැන් ගන්නවා පමණයි. ඒ වගේම ඒ දින කිහිපය ජීවත් වන්නේ අවම පහසුකම් තුළයි. ඒ සඳහා අප රැගෙන යන්නේත් අත්‍යවශ්‍යම දේ පමණයි. විශේෂම කරුණ සැබෑ වන්දනාකරුවකුගේ පරමාර්ථය වන්නේ ඒ ගමනින් විනෝදයක් ලබාගැනීම නොව, තමන් අදහන ආගමික වත්පිළිවෙත් තුළ නිරත වෙමින් ආධ්‍යාත්මික සුවයක්, සංහිඳියාවක් ලබා ගැනීමයි. ඒ වගේම වන්දනා ගමනකදී හමුවන පුද්ගලයන් අතර කිසිදු තරාතිරම්, උස් පහත් භේදයකින් තොරව එකමුතුකමක්, සහෝදරත්වයක් ගොඩනැඟෙනවා. එය නව බැඳීම් වර්ධනය කරන අවස්ථාවක් බවට ද පත්වෙනවා. ඕනෑම වන්දනා ගමනකදී මේ පොදු කරුණු දැකගත හැකියි.
l බයිබලීය ඉගැන්වීම් තුළින් මතු කරන කිතුනු ජීවිතය ගැනත් කියමුද?
කිතුනු ජීවිතය වන්දනා ගමනක් බව කතෝලික සභාව නිරන්තරයෙන්ම විශ්වාසකයන්ට මතක් කර දෙනවා. ශු. බයිබලයේ ගීතාවලිය පොතේ 103:15-16 වගන්තිවල මෙසේ සඳහන් වෙනවා. “මිනිසාගේ ජීවිතය තණපත් වැනිය. ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩෙයි. එහෙත් සුළං පහර වැදී එය නැතිවී යයි. එය තිබුණ තැනවත්, දක්නට නොලැබේ.” මෙයින් අදහස් කරන්නේ වන්දනා ගමන් කෙටි වන්නා සේම මිනිස් ජීවිතයත් ඉතා කෙටි සහ තාවකාලික බවයි. ඒ වගේම හෙබ්‍රෙව් 13:14 සඳහන් වනවා, “සදාතන නුවරක් මිහිපිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවරයÓකියා. මෙයින් ද පැහැදිලි වනවා මේ ලෝකයේ අපගේ ජීවිතය ඉතා කෙටි සහ තාවකාලික බව. එහෙත් අපට සදාතනික නුවරක්, නව ජෙරුසලමක් නැතහොත් ස්වර්ගය තිබෙනවා. කිතුනුවන් ලෙස අපේ ජීවිත ගමනේ මූලික පරමාර්ථය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමයි. ඒ ගමන අප මේ ලෝකයේ සිට පටන් ගත්තත් ඒ ගමන පූර්ණත්වයට පත් වන්නේ අපේ මරණයත් සමඟයි. එයයි අපගේ ඇදහිල්ල.
ඒ වගේම කුමන ආකාරයක වන්දනා ගමනක නිරත වුවත් එහි අවදානමක් තිබෙනවා. අපේ ජීවිත ගමනත් ඒ වගෙයි. වන්දනා ගමනකට සූදානම් වෙද්දි අපි ඒ සඳහා යම් උත්සාහයක් දරනවා. දින කිහිපයකට නිවාඩු ලබා ගන්නවා. මුදල් සූදානම් කර ගන්නවා. ඒ උත්සාහය සාර්ථක කර ගන්න යම් යම් කැපකිරීම් කරනවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අපට මතක් කර දෙනවා, අපි බලාපොරොත්තුවේ ගමනක නිතර වන විශ්වාසකයන් බව. බලාපොරොත්තු තිබෙන්නේ විශ්වාසකයන්ට පමණයි. කිතුනු අපගේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ වතට වත දී මුණ ගැසීමයි. මංගල්‍ය ආරාධනාව යාච්ඥාවේදී අපි දේව මෑණියන්ට කන්නලව් කරනවා, “පරදේශ වාසිවූ අපි ඒව අම්මාගේ පුත්‍රයෝ, ඔබටම අඬ ගසම්හ. මේ කඳුළු විලෙහි හඬා වැලපී ඔබටම සුසුම් ලම්හ…” කියලා. ඒ යාච්ඥාවෙන් කියවෙනවා, ජීවිතය නමැති වන්දනා ගමනේදී අපි මුහුණ දෙන දහසක් ප්‍රශ්න, කරදර, හිත් රිදවීම් ගැන. ඒ සේරම දරාගෙන අපි ගමනක් යනවා. ඇතැම් විට අප දෙවියන්ගෙන් ඈත් කරන ලොකුම බාධක වන්නෙත් ඒ ප්‍රශ්න, කරදර වුවත් වන්දනා ගමනක අවසානයට ළඟා වුණාම අපට විශාල සතුටක්, අස්වැසිල්ලක් ලැබෙනවා. වෙහෙස අමතක කරලා අපි එකම හැඟීමකින් එකට බැඳෙනවා. වන්දනා බිමකදී අපි සියලු දෙනා පොදු වැඩකට පොදු හැඟීමෙන් ඒකරාශී වූවන් පමණයි. ඒ ගමනින් විශාල ඇතුළාන්ත සුවයක්, සංහිඳියාවක් අපට ලැබෙනවා. අප ඒ සියලුම දේ කරන්නේ ඒ ඇතුළාන්ත සුවය ලබාගැනීම සඳහායි. එය මුදලට ලබා ගත නොහැකි දෙයක්. එය දෙවියන් වහන්සේ විසින් අපට ලබා දෙන මහඟු වරප්‍රසාදයක්.
l වන්දනා ගමනේදී කිතුනු අපේ වගකීම?
ඇදහිල්ලේ වන්දනා ගමනක නිරත වී සිටින අපගේ බලාපොරොත්තුව ස්වර්ගයයි. ඒ සඳහා අපගේ විශ්වාසය තුළ ආගමික පිළිවෙත්, දිව්‍ය පූජාව, පාපොච්චාරණය, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ආදී ප්‍රසාද නිධාන සහ භක්ති අභ්‍යාස තුළින් මේ වන්දනා ගමන සාර්ථක කර ගැනීමට කටයුතු කරනවා. ඒ තුළින් අපි දිරිමත් වෙනවා, ආධ්‍යාත්මික පෝෂණය ලබනවා. දෙවියන් වහන්සේගේ ආදරය, බලය, ආධ්‍යාත්මික සුවය අත්විඳිනවා. ලෞකිකකරණය තුළ වුවත් ආධ්‍යාත්මික ජීවිතය සඳහා අප සූදානම් වන්නේ එවැනි ක්‍රියාකාරකම් තුළිනුයි. ශු:බයිබලයේ උප්පත්ති පොතේ 3:19 සඳහන් වන පරිදි “දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලටම යන්නෙහිය”යන පාඨය අපි අළු බදාදා දිනයේ ද සිහිකරමින් අපේ ජීවිත ස්වභාවය සිහිකරනවා. නමුත් කිතුනු අපට බලාපොරොත්තුවක් තිබෙනවා. දෙවැනි වතිකානු මන්ත්‍රණ සභාවේදී ජාතීන්ගේ ආලෝකය නම් ප්රකාශනයේ 7 වැනි පරිච්ඡේදයේ 44 වැනි ලියැවිල්ලේ සඳහන් වනවා, “ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි ආගමනයේදී වන්දනා ගමනක යෙදෙන දේව ජනතාව වන අප ස්වර්ගීය සභාව හා සමඟ ඒකාබද්ධ වෙමු” කියා. කිතුනුවන් ලෙස අප ඇදහිල්ලේ වන්දනා ගමනක් යන්නේ ඇයි ද යන්න එහි ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා අප ජීවත් විය යුතු ආකාරය ගැන ගීතාවලියේ 90:12 වගන්තියේ මෙලෙස සඳහන් කර තිබෙනවා, “දිවි පෙවෙත කොතරම් ලුහුඬුද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරනු පිණිස නැණවත් සිතක් අපට දුන මැනව”. මෙයින් අප තේරුම් ගත යුත්තේ අප දැහැමිව ජීවත් විය යුතු බවයි. බොරුවෙන්, වංචාවෙන් සහ රැවටීමෙන් කිසිවකුට පීඩාවක් නොකර සත්‍යවාදීව සහ සාධාරණව ජීවත් විය යුතු බවයි. කිතුනුවන් ලෙස අපගේ ජීවිත ලෞකිකව දිරාපත් වන ශරීරයෙන් නිමා වුවත් අපගේ ආධ්‍යාත්මික ජීවිතය නිමාවට පත්වන්නේ නැහැ. එය ගමන් කරනවා. දෙවියන් වහන්සේ සමඟ ස්වර්ගය නැමැති සදාතනින නිවාසයේදී එක්වන බලාපොරොත්තුවේ ගමනක් අපට තිබෙන බව අමතක නොකළ යුතුයි. ඒ නිසා මේ බලාපොරොත්තුවේ වන්දනා ගමනේදී අපට දෙවියන් වහන්සේ ආරාධනා කරන්නේ ඉතා සාධාරණව සහ යුක්තිසහගතව ජීවත් වෙමින් තමන්ගේ ජීවිතයත් ගලවාගෙන අනුන්ගේ ජීවිතත් ගලවා ගන්නටයි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්