Home » බෙන්තොට පැරැණි පාලම සංරක්ෂණය කරන්න ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්

බෙන්තොට පැරැණි පාලම සංරක්ෂණය කරන්න ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්

by sachintha
January 15, 2025 1:43 am 0 comment

ගාල්ල – කොළඹ මහා මාර්ගයේ බෙන්තොට ගඟ හරහා ඇති පාවිච්චියෙන් ඉවත් කරන ලද බෙන්තොට පැරණි පාලම විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ඉංග්‍රීසි ආණ්ඩු සමයේ 1902 වර්ෂයේ ඊ.සී. ඩේවිස් ඉංජිනේරුවරයාගේ නිර්මාණයක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවේ කර්මාන්තශාලාවේ සකස් කර සාදන ලද මෙම ඉපැරැණි පාළම නව පාළමක් ඉදිකිරීමෙන් පසු පාවිච්චියෙන් ඉවත් කර දැනට වසර 15ක් පමණ වේ. මෙම ගෙවුණු කාලය තුළ මෙම පාළම දැඩිසේ මළකෑමට ලක්ව තිබේ.

කොටස් දෙකකින් යුක්තව දැවැන්ත යකඩ උපයෝගී කරගෙන නිමවා ඇති මෙහි එක් කොටසක පාළම් තට්ටුවේ ප්‍රධාන ආධාරක යකඩ බාල්කයක් කැඩී පාළම පහත්වී තිබේ.එමෙන්ම ඉහලින් ඇති යකඩ ආරුක්කු රැසක් දිරා කඩාවැටී ඇති අතර තවත් කීපයක් කඩා වැටීමට ආසන්නව පවතී.එය පාළම නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම පාළම පසුබිම් කරගෙන විවාහ සේයාරූ ගැනීමට එන විවාහකයන්ට අනතුරුදායක තත්වයකි.

පාළමේ දෙපස සවිකර තිබූ බෙහෙවින් වටිනා ලෝහමය බට මේ වන විට එකක්වත් නොමැති වනසේ ගලවාගෙන ගොසිනි. රාත්‍රි කාලයට අඳුරේ පවතින මෙම පාළම රාත්‍රියට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට තෝතැන්නක් වී ඇතැයිද ප්‍රදේශවාසීහු කියති.

මෙම පාළම ගැන බෙන්තොට, අජිත් අමරවීර මහතා මෙසේ පැවසීය.

පෞරාණික වටිනකමක් තිබෙන මෙම පාලම විනාශ වෙන්න ඉඩදෙන එක අපරාධයක්.සංචාරක ව්‍යාපාරය බෙහෙවින් දියුණුවී පවතින දකුණු පළාතේ මුහුදු බඩ ප්‍රදේශවලට එන දෙස් විදෙස් සංචාරකයන් මේ පාලම බලන්න එනවා. ඒත් අද මේ පාලම තිබෙන තත්ත්වය ගැන ඒ අයත් කණගාටුව පළ කරනවා. මේ පාලම ප්‍රතිසංස්කරණය කිරීම සංචාරක ව්‍යාපාරයටත් රුකුලක් වේවි.

සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයෙකුවූ බර්නාඩ් ජයසේකර මහතා මෙසේ පැවසීය.

මේ වන විට වල්බිහිවෙමින් විනාශවන්නට ඉඩහැර ඇති මෙම ඉපැරණි පාළම කොළඹ -ගාල්ල මාර්ගයේ ඇති බෙන්තොට නව පාලම මගහැර පාපැදි, යතුරුපැදි ආදිය ගමන් කිරීමට මෙන්ම පයින් යන්නන්ටත් පහසුවෙන් ගමන් කිරීමට සකස් කරනවානම් බොහොම වටිනවා. නව පාළම මත නිතර ඇතිවන මාර්ග තදබදය දුරලීමට ද හේතුවක් වෙනවා.

වටිනා සිහිවටනයක් ලෙස මෙය ප්‍රතිසංස්කරණයක් කර රැකගතයුතු බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේ කිරීම බෙන්තොට සංචාරක ව්‍යාපාරයටද යහපතක් වනු ඇත. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමු කරන ලෙසද ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

ඌරගස්මන්හන්දිය සමූහ – අයි.ජයරත්න සහ

බෙන්තොට විශේෂ – එස්.මද්දෙවිතාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT