Wednesday, April 9, 2025
Home » ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කිරීමට අවධානය

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කිරීමට අවධානය

by yasara
January 15, 2025 4:59 pm 0 comment

පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එමෙන්ම සිය වෘත්තීය නිපුණතාවය වර්ධනය කර ගැනීම සදහා නේවාසික හා කෙටිකාලීන   පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත් පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ අද (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙහිදී අමාත්‍යවරයාට ලබාදුන් අතර එම සංදේශයට ඇතුළත් කරුණූ පිළිබද ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් අමාත්‍යවරයා දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් කරුණු සොයා බලා ති‌බෙයි.

මෙහිදී, කරුණූ කිහිපයකටම අදාළ විසදුම් ඒ මොහොතේම ලබාදීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර තවත් ඉල්ලීම් කිහිපයක්ම ඉටුකරදීමට තමා පියවර ගන්නා බව අමාත්‍යවරයා කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට මෙහිදී දන්වා සිටිනු ලැබීය.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට මෙහිදී අමාත්‍යවරයා සිය අවධානය යොමු කල අතර ඒ සදහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

මාධ්‍යවේදීන් සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරනු ලබන හැදුනුම්පත මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කිරීමටත්, එමෙන්ම සියලුම මාධ්‍යවේදීන් සදහා අංග සම්පුර්ණ නේවාසික හා කෙටිකාලීන  පුහුණූ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත්, මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිය වෘත්තීයට අදාළ උපකරණ මිලදී ගැනීම සදහා අඩු පොලී යටතේ ණය මුදලක් ලබාදීමේ හැකියාව පිළිබදව සොයා බැලීම ඇතුළු ප්‍රා‌දේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් රාශියකට සිය එකඟතාවය පලකරමින්  එම ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කරනු ලැබීය.

එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කැපවීම තම රජය බෙහෙවින් අගය කරන බවත් එම මාධ්‍යවේදීන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයන්ට වඩා සපයන සේවාවෙන් ලබන්නාවු තෘප්තිමත්භාවයෙන් සෑහිමකට පත්වන පිරිසක් බව හොදින්ම තේරුම්ගෙන ඇති  බවත් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම තත්වය මත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දිරිමත් කිරීම මෙන්ම ඔවුන්ගේ වෘත්තීය කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීම සදහා ඔවුන්ගේ ගැටළු වලට ලබාදීය හැකි සියලු විසදුම් ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කැපවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මෙම සාකච්ඡාව සදහා කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත ප්‍රියදර්ශණ, ලේකම් චතුර දේශාන්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒන්.ඒ.කේ.එල්. විජේනායක මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් සහ  කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වුහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT