Home » ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් රටට විශාල විදේශ විනිමයක් ගෙන ඒමට වැඩපිළිවෙලක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් රටට විශාල විදේශ විනිමයක් ගෙන ඒමට වැඩපිළිවෙලක්

by chanaka
January 15, 2025 1:09 pm 0 comment

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා පවසයි.

ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කිරීමට නියමිතය. ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මේ බව කියා සිටියේය.

“බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවා. අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරනවා“ යැයි බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූ සිවිල් ගුවන්සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා අදහස් පළකරමින් ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය හැටියට සැළකෙන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හදුනගන්න අපි අමාත්‍යංශ දෙකම එක්ව කටයුතු කරනවා. ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමේ මෙහෙයුමේදී තෙල් වෙළදපලට ඇතුලත්වීම මේ තෙල් ටැංකි හරහා සැකසෙන ව්‍යාපෘතියට අනුකූලව වරාය සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරන්නත් ඉදිරි මාස කීපය තුළ මේ සම්බන්ධව ජාතික සැළැස්ම ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන මෙහදි නිරික්ෂණයට ලක්වූ අතර මෙම නිරීක්ෂණ චාරිකාව සදහා ඉහත අමාත්‍යවරුන්ට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) සිරිමෙවන් රණසිංහ ඇතුළු ඉහළ නිළධාරින්ද එක්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT