Saturday, April 5, 2025
Home » නැවතුණු සිනමාකරුවා…

නැවතුණු සිනමාකරුවා…

by thanushika
January 15, 2025 12:25 am 0 comment

විකුම් ජිතේන්ද්‍ර

සේකර පිළිබඳ කතිකාව තුළ වැඩිමනත් නැඟෙනුයේ ඔහු කෙතරම් අසම-සම කවියකුද? යන්නය. එසේ වීම විවාදාපන්න නොවනුයේ සංඛ්‍යාත්මකව වඩාත් සංවාදයට ලක් කළ හැකි කෘති ප්‍රමාණය කාව්‍යය බැවිනි. සේකරයානු සිනමාව සලකා බැලෙනුයේ ඊට පසු ආස්ථානයක පිහිටුවා ය.

ඊට හේතුවන්නේ සිනමා කෘතියක් ලෙස නිමවන්නට හැකි වන්නේ ‘ඔහුගේ ‘තුංමං හංදිය’නවකතාව ඇසුරින් ඔහුම අධ්‍යක්ෂණය කළ සිනමාපටය පමණක් වන හෙයිනි. හෙතෙම ‘ප්‍රබුද්ධ’ ආඛ්‍යාන කාව්‍ය සිනමාවට නඟන්නට බලාපොරොත්තුව සිටියද, මරණය නම් සනාතන ඉරණම ජීවිතය මත පතිත වූ අනපේක්ෂිත මොහොත විසින් එය වළකන ලදී. කෙසේ වුව සේකර මරණාපරව, සිනමාව එහිම භාෂාවක් සහිත කලාවක් බැව් හඳුනා ගනිමින් සිටියේය යන්න ඉතිහාසයේ සටහන්ව තිබේ.

“නව යොවුන් වියේ සිටම කවිය, චිත්‍රය, නාට්‍ය ඇසුරෙන් මා ලැබුවේ දැඩි සතුටක්. ඒත් මගේ හැඟීම් ප්‍රබල ලෙසත්, පැහැදිලි ලෙසත් ප්‍රකාශ කරන්නට තරම් දැඩි පිටුවහලක් මේ මාධ්‍යයන් එකකින්වත් මට ලැබුණේ නැහැ. අන්තිමේදී මම ‘නවකතා’ මාධ්‍යය තෝරා ගත්තා. ‘තුංමංහංදිය’ලියන්නට පෙළඹුණේ ඒ නිසයි. අනෙකුත් බොහෝ නවකතා හා සසඳා බලනවිට ‘තුංමංහංදිය’ සෑහෙන තරම් උසස් නවකතාවක් බවට විචාරකයින් පවා පිළිගත්තා. ඒ කිසිවකු නොදුටු ලොකු අඩුවක් ‘තුංමංහංදිය’ තුළින් මා දුටුවා. ‘තුංමංහංදිය’ ලියද්දී මගේ හදවතේ තෙරපීගෙන තිබූ හැඟීම් සියල්ල එයින් එළි දැක්විලා තිබුණේ නැහැ. තවත් පැහැදිලි කරලා කියනවා නම් මට කියන්න ඕනෑ කරලා තිබුණ හැම දෙයක්ම ඒ නවකතාව තුළින් කියවිලා තිබුණේ නැහැ. මේ අඩුව වසා ගන්නට ඇති හොඳම පිළිවෙළ ‘තුංමංහංදිය’ චිත්‍රපට ගත කිරීමයි කියලා අදහසක් මගේ හිතට නැඟුණා.”

-(බන්දුල පද්මකුමාර, මහගම සේකර සමඟ කළ සංවාදයකින්. – ‘විසිතුර’ සිනමා පුවත්පත 1969.03.14)

” තුංමං හංදියේ අධ්‍යක්ෂවරයා වශයෙන් සිනමාවට එකතුවුණු පසුවයි මා තේරුම් ගත්තේ මෙතෙක් මා ඇසුරු කළ කලා මාධ්‍යයන් සියල්ලම සීමිත ඒවා බව. සිනමාව ඒ හැම කලාවකටම වඩා බෙහෙවින් වෙනස්. සිනමාව අනෙකුත් හැම කලාවන්වලම සංයෝගයක්. මගේ හැඟීම් පැහැදිලිවත් ප්‍රබල ලෙසත් ප්‍රකාශ කරන්නට පුළුවන් හොඳම මාධ්‍යය සිනමාව බව මම වටහා ගත්‍තා”

-(එම)

නවකතාවක් ඔස්සේ පාඨන රමණයට නතු කොට ගත හැකි රසය, එම කෘතියම සිනමාවට නැඟෙන විට නැසෙනු ඇති බවට නැඟෙන සදොස් සුලබ මතය, මේ වෙත එදිරිව ආ හැකි නමුදු පුළුල් අවකාශයක සංනිදර්ශන හා සංවාදයට ලක් කළ යුතු කරුණක් බැවින් එහි නොපිහිටා, සේකරයානු සිනෙමාක්ෂිය ආස්වාදනීය සෞන්දර්ය වාහකයක් වන අයුරු මෙහිදී සලකා බලමු.

‘අබිලිං අප්පුහාමි’ (ජෝ අබේවික්‍රම) සහ ඔහුගේ සොහොයුරියගේ පුත්‍රයා වන ‘සිරිසේන’ගේ (කුමාර බාලසූරිය -ළමා, කරුණාරත්න රණසිංහ-තරුණ) චරිත අතිපිහිත කරමින්, සිනමා ආඛ්‍යානය ගොඩනැඟී තිබෙයි. ‘අබිලිං අප්පුහාමි’ යනු එකතරා යුගයක ගැමි කලාකරුවෙකි. පසු-නූතන විවෘත ආර්ථික ක්‍රියාවලියකදී සේවා ආර්ථික ගණයෙහි ලා සැලකිය හැකිවන ලෙස ගතික වූ එම ශිල්පියත්වය, එක් ආකාරයකින් ඊට පෙරාතුව නොගෙවන ශ්‍රම සූරා කෑම් ප්‍රවාහයකට හසු වූවක් ලෙස නොසලකා හැරිය නොහේ. එවන් පසුබිමෙක අබිලිං සිය මව වෙත අලුත් චීත්තයක්, සොහොයුරාට ඇඳුමක් සහ තවත් දෑ සහිත මල්ලක් ගෙන විත් දෙයි.

“කොයින්ද බං උඹට මේවට සල්ලි?” මව (දෙනවක හාමිනේ) අසන්නීය.

“ගියා නේද සූදුවට… මොකටද යකෝ ඕකට යන්නේ. හම්බකරන තුට්ටු දෙක පරාද වෙලා එන්ඩ.” යැයි අවලාද නඟන්නීය.

“පරාද වෙලායැ අම්මේ ඔය දිනලනේ” අබිලිං එසේ කියමින් සිනාසෙමින් මඳක් ඉහළ බලන්නේ ය.

ඡේදනය වන්නේ අහසේ පාවෙන සරුංගලයක සමීප රූපයකට ය.

රූප දෙක යා කැරෙන සම්බන්ධය තාක්ෂණිකව අයිසේන්ස්ටියානු සිනමා සමෝධනයකට (Montage) නතුව ඇති අතර ප්‍රේක්ෂක අභිමුව එය අබිලිං කිනම් මිනිසකු දැයි යන සහකම්පනය මතුකරයි. වෙනත් ලෙසකින් කියන්නේ නම් සිනහව සහ සරුංගල ඡේදනය ඔහු ජීවිතය දෙස බලන ආකාරය හැඟවුම්කරණය කරයි.

තවත් විටෙක දිළිඳු කලාකාරි ස්වභාවය නිසා සිය ප්‍රේමය ද, අත්හරින්නට සිදුවූ අබිලිං වෙනත් පෙදෙසකට අභිනික්මන් කරයි. එය උදෑසනකි. ඔහුගේ සොහොයුරියගේ හා ඇගේ පුතු වූ සිනමාපටයේ කේන්ද්‍රීය චරිතය වූ සිරිසේනගේ දැක්ම (Gaze) හා යා කැරෙන රූපයේ, ඔහු නික්මයනු ලබන්නේ මීදුම අතරිනි. මාධ්‍ය පිළිබඳ සබුද්ධික බවක් සහිත සිනමාකරුවකු බවට සාක්ෂි දරමින් මේවා ‘තුංමං හංදිය’ තිර පිටපතේම සේකර අතින් ලියැවී තිබෙයි.

එකී සිදුවීම් ද්විත්වයට පෙරාතුව, තමාගේ ගමන දැනුම් දීමට මහගෙදරට යන අබිලිංගේ සමීප රූපයට පසුබිම්ව බිත්තියෙහි රාමු වී එල්ලී ඇත්තේ, එම් සාර්ලිස් ශිල්පියාගේ සිදුහත් අභිනික්මන් සිතුවමයි. කලා අධ්‍යක්ෂ වරයා වූ හේමපාල ධර්මසේන එය කළා වුවද, ඉහත පරිදි ඒ පසුපස සේකරයානු ඇස ද තිබෙන්නට ඇත.

සංඥාර්ථවේදී එළැඹුමකින් සිනමා සෞන්දර්ය කියැවීමේ මානයක දී මේවා සරු මෙවලම් නොවේද?

සිනමාපටය තුළ යම් දෘෂ්ටිවාදී ගොදුරු සහ භාවිතාවන් ද ඇත. ඒවා කතා කිරීම දිගු සංවාදයක් බැවින් මෙහි නොලියමි.

තුංමංහංදිය ශාලා ප්‍රදර්ශනයේදී ප්‍රේක්ෂකයින් අවමවීම මත එය ගැලවී ගියෙන් සේකරයන් ගම්පහ උද්භිද උයනේ හුදෙකලා වී දිනෙක කඳුළු සැලූ බව කියැවෙයි.

ඉතින් .. සේකර සැමරුම් අතර කියනු රිසියෙමි.

සේකර ප්‍රේමින් උත්සුකව දුර්ලභ ‘තුංමං හංදිය’සෙලියුලොයිඩ් පිටපතක් සොයා එය ඩිජිටල් කළ යුතු කාලයයි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT