ශ්‍රී ලංකාවේ මිනිසුන් සේකර තරම් ආස්වාදනීය ලෙස සැමරූ, තවමත් සමරමින් සිටින කලාකරුවකු තවත් නොමැති තරම්. වසරක් පාසා සේකර සොයා තුංමංහංදියටත් රදාවාන මහවත්තටත් යන පිරිසගේ අඩුවක් නැත. ඔහු ලියූ දෑ කියවා ඒ ඇසුරෙන් උපන් ආස්වාදය පෙරදැරි ව ඔහු කෙරෙහි හටගත් භක්ත්‍යාදරයෙන් ඔහු කවුරුන් දැ යි සොයන්නට උත්සුක වන අය ඔහු ඇසුරු නිසුරු කළ හාත්පස පරිසරය ද ගහ-කොළ, ඇළ-දොළ පමණක් නොව ගෙවල් දොරවල් ද සොයා එති. කලක් ඔහු වාසය කළ නිවස අද එහි නැතත් එය තිබූ භූමියට ගොස් සේකර ගැන සිතමින්, සිතින් සමරමින් සුසුම්ලති. එමෙන් ම ඔහු කළ කී දේවල් ජනප්‍රවාදමාත්‍ර වශයෙන් අසා එයිනුදු කිසියම් ආස්වාදයක් ලබති.
” සමහර දාක කෝච්චියෙ එනකල් ම
අම්මේ…අම්මේ කිය කියා අඬ අඬා එනව ලු”
“දවසක් බණ්ඩාරවත්තෙ හන්දියෙ මාලු කූරියෙකුත් කිහිලි ගන්නං ඉන්නවා.. හොඳටෝ ම බීලා”
” සමහර දාක ඔය පහළ තියෙන මහ නියර දිගේ දුවනවා… සුමනෝ..සුමනෝ කිය කියා.. මිනිස්සු අල්ලං ගිහින් ඉසකුඩිච්චියක් දම්මනවා”
සේකරගේ චරිතය අළලා කියැවෙන මෙබඳු කතාවලට අපි මහත් සේ ප්‍රිය කරමු. ඒවායේ ඇති කිසියම් අද්භූත රසයක් ද අතීතකාමයක් ද අපි වින්දනය කරමු. සැබවින් ම අප ඒ අමුතු කතාවලට ඉව අල්ලන්නේ සේකර කවුදැයි හරියට ම දැන ගැනීමටයි. එහෙත් සිදුවන්නේ ඔහුගේ ක්‍රියාකලාපයන් තුළ ඔහුට ද අපට ද තේරුම් ගත නොහැකි අර්ථකථනය කළ නොහැකි කලාපයක් ඇති බව වැටහී යාමයි. ඔහු කරන දෑ පමණක්. නොව ඔහු ලියන දෑ ද හරියට ම තේරුම් ගන්නා පිරිසක් ඔහු ලියන කාලයේ නොසිටින බවත් අනාගතේ මීට වඩා ලෝකය යහපත් වන දවසක මිනිසුන් මීට වඩා ආදරයෙන් තමාව කියවන බවත් සේකර ලියා තැබුවේය.
” ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරට් පැකැට්ටුවක්
එ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
එසේ වු ව සොහොයුරනි
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි”
(ප්‍රබුද්ධ xxvi)
සේකර වෙත අප වඩාත් ආකර්ෂණය වන්නේ ඔහු තුළ සිටින අර්ථවත් මිනිසාට වඩා ඔහු කෙරෙන් පිළිබිඹු වන අර්ථ කථනය කර ගත නොහැකි කලාපයක් සහිත මිනිසා නිසාවෙනි. අප ඔහු යළි යළිත් සොයා යන්නේ ඔහුගේ අර්ථකථනය කළ නොහැකි කලාපයක් ඇති නිසාවෙනි. එබැවින් අප සොයන්නේ සේකරගේ වේදනාවයි. නැතහොත් වේදනාත්මක ප්‍රමෝදයයි. අප වහ වැටී ඇත්තේ එයටයි.
සේකර “ව්‍යංගා” කෘතියෙහි. “සෙවනැල්ල” නමින් කවියක් ලියමින් තමා පසුපසින් අඳුරට ම ප්‍රිය කරන අයකු පැමිණෙන බව සඳහන් කරයි.
“අරමුණක් නැතිව කිසි
තව දෙයක් මම කළෙමි
මගෙ ම සෙවණැල්ල දෙස බලා සිටියෙමි දිනක
සිහි මොළය ඇතිව මා මෙතෙක් කල් කරන ලද
එක ම දෙය එපමණැයි එවේලේ සිතිණි මට”
(ව්‍යංග්‍යා 47 -කේ.ජයතිලක සමඟ)
සේකර තමා තුළ ම සිටින තමා කොතරම් එළියට ප්‍රිය කළත් තමාව අන්ධකාරය දෙසට ම අදින බැවින් හිතවතකු ද විය නොහැකි අයකු පිළිබඳ සඳහන් කරයි. ආරම්භක කෘතියේ ම ඔහු අන්තරාවර්තී දෘෂ්ටියකින් විෂය වෙත අවතීර්ණ වී ඇති ආකාරය දැක ගත හැකිය.
“නුඹ කැමති අඳුරටයි
මා කැමති එළියටයි
නුඹ මගේ හිතවතෙකු
ලෙස සිතනු බැරිය මට”
(ව්‍යංගා 48 – කේ. ජයතිලක සමඟ)
තමා තුළ ම සිටින අනෙකකු පිළිබඳ සේකර තුළ පැවති මෙම අන්තර්දෘෂ්ටිය ඔහුගේ කවියත් සමඟම ප්‍රසාරණය වී තිබෙයි. “හෙට ඉරක් පායයි” කාව්‍යයෙහි හමුවන එක් කවක තමා තුළ ම වන දෙබිඩි පැවැත්ම සේකර මෙසේ ප්‍රශ්න කරයි.
29.
“ගම වාගේ නිල් පාටයි ඇගේ ඇස
නගරය වාගේ නලියයි ඇගේ ඇස
ලස්සනයි ඇගේ ඇස
මගේ ඇස මට කීය
මම එබස ඇදහීමි
පසුදා
මගේ හද මට කොඳුරා
මෙසේ කීය
‘ සුන්දරත්වය දකින්නේ
ඔබේ ඇස නොව මගේ ඇසයි
ඔබේ ඇස පෙන්වන තරම්
ඇගේ ඇස ලස්සන නොවෙයි’
මම ඇයට ආදරෙයි
මම කීමි
ආදරය දකින්නේ
මා මිසක ඔබ නොවෙයි
ඇසට ඇස
මසට මස
ආදරය එය නොවෙයි
මගේ හද ඇගෙ හදට එකඟ නැත.”
(හෙට ඉරක් පායයි. 29)
චිත්තරූපවාදී බව සහ විඥානධාරා රීතිය සේකරගේ කාව්‍ය ප්‍රයාණයෙහි ඉන්ධනයයි. එබැවින් ඔහු අන්තරාවර්තී දෘෂ්ටියකින් යුතුව ම සමාජය වෙතට හැරෙයි. සංකේතීය ලෝකය තුළ පවත්නා ආනුභවික විෂය ඔහු තම කවිය මඟින් විච්ඡේදනය කොට යථාව මුණ ගැස්වීමට උත්සුක වෙයි. “මක්නිසාදයත්” කාව්‍යයෙහි අවසාන භාගයේ ගුත්තිල – මූසිල කතාව රූපකාර්ථවත් ව යළි ගොඩනංවන කවියා එමඟින් ධනවාදී සමාජය තුළ තිබෙන අනවරත කලිකලහය නිරූපණය කරයි. මූසිලගේ පරාජය කුමන්ත්‍රණයක් බව හඟවමින් ඔහු අනාගතවාදී ඇසකින් ඒ දෙස බලයි.
” මූසිල නාඩන්
නුඹ පරාද නැත
අලුත් පරණ පරම්පරා දෙකක් අතර
ගැටුමක් පමණක්ය මේක
සදාකාලිකව පැවතෙන
අලුත් අදහස්
පැරණි අදහස්
ගැටුණි හැමදා
පරපුරින් පරපුරට
අතීතයේ වලා මැදින්
පායනවාමයි හෙට දින
අනාගතේ ආලෝකය”
සේකර ගැමි කවියකු ලෙසත්, ඔහු ගම තොරොම්බල් කරමින් ගම උත්කර්ෂයට නැඟූ බවත් ඇතමුන්ගේ අදහසයි. බොහෝ අය සේකරගේ ගැමිකම, ගම අළලා ලියැවී ඇති කවි තුළ දකිමින් එය අතීතකාමී ව වින්දනය කරති. “රන් එතනාට කියන කවි” ” දුකට කියන කවි සීපද” ” වක්කඩ ළඟ දිය නටන තාලයට” ආදී නිර්මාණ ගම පසුබිම් කරගෙන ලියැවී තිබීම ඊට හේතු විය හැකියි. එහෙත් සේකර ගම දකින්නේ ශිෂ්ටාචාරය කරා ගමන් කරන අප විසින් පසු කර ගෙන යා යුතු තැනක් ලෙසයි. ඔහු සමකාලීන ගම දකින්නේ ගමටත් නගරයටත් දෙකට ම නැති සංකර ගැහැනියක ලෙසයි.
” ගම හීනෙන් දැක
ගම ගැන අඬන්නේ
ගමට ගිහින් බල
හීනෙන් තොප දකිනා
චමත්කාරයක්
එහි නැත..
ඇය සංකර ගැහැනියක් ය
ගමටත් නගරයටත්
දෙකට ම නැති
ගැබ්බර වී ඈ බලා හිඳී
අනාගතය බිහි කරනට”
සේකර “හෙට ඉරක් පායයි” කාව්‍යෙයහි මෙන් ම “මක්නිසාදයත්” කාව්‍යයෙහි ද ගම චමත්කාරකරණය කිරීමට උත්සුක නොවෙයි. අනෙක් අතට නගරය තුළ ගොඩනැඟෙමින් තිබෙන පරිභෝජනවාදී, උපයෝගීතාවදී ආර්ථික සමාජය සේකර තම කවිය මගින් විවරණය කරන්නෙ උත්ප්‍රාසාත්මක කෙවිට ද අතැතිවය.
“කුස
දමාපන්
උඹේ ඔය වීණාව පැත්තකට
අත ඇරපන්
ඔය මූර්ති ශිල්පය
පබාවතියට
කලාවෙන් වැඩක් නැත
ගනින් අතට වංක මැණික
එක් රැස් කර ගනින් බලය
පිළිමලුන්ගෙ එඩි මඬින්න
එවිට ඒවි
පබාවතී
උඹ ඉන්නා තැන හොයාන
උඹේ දැවුණු මුහුණ ඇයට
එතකොට ලස්සනක් වේවි”
ගැහැනිය පිළිබඳ සේකරගේ කවිය තුළ ඇති කියවීම අතිශය පුළුල් දැක්මකින් සමන්විතය. ඔහු මව, පෙම්වතිය, බිරිඳ, ගණිකාව ආදී සෑම ගැහැනියක් ම එක ම රේඛාවක තබා ඇගයීමට ලක් කරන්නේ මහායාන දර්ශනයේ ඇති තාරා බෝධිසත්ත්ව සංකල්පය වැන්නක් සිහි ගන්වමිනි. සේකර කවි ලියන වකවානුව වන විට නූතන ස්ත්‍රීවාදී කතිකාව හිස්ටරීක ලෙස දිගේලි වී නොතිබුණ ද ඔහුගේ ස්ත්‍රිය පිළිබඳ දැක්ම වැඩවසම් හෝ වික්ටෝරියානු සුචරිතය අනුදත් මාවතක ගමන් නොකළේ ය. ඔහු ස්ත්‍රිය පිළිබඳ තම කවිය තුළ ම ගොඩ නඟන කතිකාව නූතනවාදය ද ඉක්මවා පවතින්නකි. ධනවාදය විසින් වැරහැලි කළ ගමටත් නගරයටත් නැති තවත් තවත් ආන්තික සමාජ පන්තියක් වන නාගරික මුඩුක්කු සමාජයේ ගැහැනිය දෙස මහායාන දර්ශනයෙන් පෙරී පොහොණි කළ දෘෂ්ටියක් යොමන්නේ මෙලෙසිනි.
” පොතක් සම් බෑගයක් ගෙන අතින්
දෑත දෙපය නිය තොල් තද රතින් රත් කොට
උලා වත්සුණු වතෙහි ගනකමට
දවටා ගත වටා දිලිහෙන වයිවර්ණ සාරිය
අම්මා බැස්සා මඟට
ගොම්මං වෙලාවට
රෑ වැඩට යාමට”
“මඟට බට අම්මා
මොහොතක් ඔහු දෙස බැලුවා
වටහා ගත්හ උන් දෙදෙන උනුන් සිත්
දයාවෙන් කනගාටුවෙන් බර
සිනාවක සේයාවක්
නැඟිණ උන් මුවඟට මොහොතකට
දුටුවාය එවිට ඈ ඔහු ළමැද
නොමැකෙනා සේ කෙටී ඇති කළු පාට පච්චය
“අම්මා බුදු වේවා”
සේකරගේ අඛ්‍යාන ශෛලියෙන් යුත් සෑම රචනයක ම ඔහු තුළ සෑම සමාජ පසුතලයක් පිළිබඳ ව ම පවත්නා ව්‍යුහාත්මක අවබෝධය දක්නට ලැබෙයි. එමෙන් ම සම්භාව්‍ය සාහිත්‍ය කෘති ඇසුරෙන් කරන සමෝධානික විවරණය කෘතියේ තේමාව සමඟ මනා ඒකාබද්ධතාවක් ප්‍රකට කර තිබෙයි.
සේකරගේ කවිය අද දවසේදී වැදගත් වන්නේ සේකර අපේක්ෂා කළ ගමත් නගරයත් අතර සහ සම්බන්ධ අපෝහකය වෙතින් ප්‍රතිපන්න උතුරුකුරු සමාජයක් පිළිබඳ සිහිනය සැබෑවක් කරවන දේශපාලන පෙරළියකට ලාංකේය සමාජය පත්ව සිටින බැවිනි. සේකර එදවස සමාජය පිළිබඳ මෙසේ සිතුවේ ය.
” විසම වී ඇත ජන සමාජය
ලෙඩෙකු වී ඇත ජන සමාජය
ඒ ලෙඩා සුවපත් කරන්නට
පලා මහ ගඩුව සැතක් ගෙන
තුවාලය පිරි සැර ව පිස දැමුම වරදක් ද”
සේකර අපේක්ෂා කළ වෙනස, නැතහොත් තුවාලය පිරි සැරව පිස දමා තුවාලය සුව කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එම තුවාලය, සේකර ලියා නැවැත් වූ තැන් සිට අඩසියවසක පමණ කාලයක් තුළ තවතවත් කුණු ලේ සැරව ගලන ඕජසින් පිරි කුණපයක් බවට පත් ව ඇති බැවිනි. එහෙත් සේකර පැතූ පැතුම අප සැම හදවත් තුළ ඉපිලෙයි.
” බියෙන් තොර ව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන..!”