Sunday, April 6, 2025
Home » ගම, විශ්වය හා කවිය

ගම, විශ්වය හා කවිය

by thanushika
January 15, 2025 1:29 am 0 comment

මහගම සේකර රචනා කළ ව්‍යංග්‍යා (1960 -කේ. ජයතිලක සමඟ), සක්වාලිහිණි (1962), හෙට ඉරක් පායයි (1963), මක්නිසාද යත් (1964), රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත (1967), බෝඩිම (1970), නොමියෙමි (1973) හා ප්‍රබුද්ධ (1977) යන කාව්‍ය ග්‍රන්ථ කෙරෙන් කාව්‍යකරණය සම්බන්ධව ඔහුගේ අත්දහාබැලීම් මෙන්ම මතවාදක්‍රමයෙන් විපර්යාසයට පාත්‍ර වන අයුරු නිරීක්ෂණය කළ හැකිය.

මුල් කාලීනව ප්‍රේමය, ස්ත්‍රිය හා සොබාදහම වැනි ප්‍රස්තුත මත පදනම්ව සෞන්දර්යාත්මක කාව්‍ය සංකල්පනා නිර්මාණයෙහි නිමග්න වූ කවියා පසු ව සමකාලීන සමාජ ජීවිතයේ ජුගුප්සාජනක යථාර්ථය තියුණු ලෙස ප්‍රතිනිර්මාණයට උත්සුක වේ. එහෙත් තත්කාලීන සාහිත්‍ය කතිකාව අතුරෙහි, සුලබ වශයෙන් සේකර ජන කවි ආභාසය ලත් ගැමි කවියකු ලෙස අර්ථකථනය වේ. ඔහු විසින් නිර්මාණය කරන ලදුව බහුප්‍රචාරණයට පත්වූ රන් එතනාට කියන කවි, මරණය, දුකට කියන කවි සීපද, ගම අමතකයි, අස්වැන්න පෑගීම, ඉරට මුවාවෙන්, කොන්ත නෝනා, කිඳුරු කුමාරියගේ කතාව, වක්කඩ ළග දිය වැටෙන තාලයට, පාළු අඳුරු නිල් අහස මමයි, දෑතේ කරගැට සිඹ සනසන්නට හා කන්ද උඩින් එන කිකිළී යනාදි කාව්‍ය හා ගීත නිර්මාණ බහුතරයක් පාසල් මෙන් ම විශ්වවිද්‍යාලවලද පෙළපොත්වලට ඇතුළත්ව තිබීමද මේ හා සමගාමීව වටහාගත හැකිය.

පසුකාලීනව සේකර ලියූ මක්නිසාද යත් , රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත, නොමියෙමි හා ප්‍රබුද්ධ යන කාව්‍ය ග්‍රන්ථ කෙරෙන් ද සිංහල පාඨක සමාජය අතර ව්‍යාප්ත වූයේ ක්ෂණික සංවේදනයට තුඩුදෙන වඩාත් භාවාතිශය, සංවේදී හා හෘදයග්‍රාහී සරල සංකල්පනා මිස විශ්ව සාහිත්‍යයේ- විශේෂයෙන් බටහිර නූතනවාදී කවියේ, ආභාසය මත නිර්මාණය වූ නව්‍ය කාව්‍ය ශිල්ප විධි හා සම්බන්ධ සංකීර්ණ පැතිකඩ නොවේ. මේ පදනමෙහි සේකරගේ අත්හදාබැලීම් හේතුවෙන් කවිය වඩාත් සුඛනම්‍ය මාධ්‍යයක් බවට පත්වීමත් සමඟ කාව්‍ය ක්‍ෂේත්‍රය අභිභවා නූතන ගීත කලාව මෙන්ම එෆ්. එම්. සංස්කෘතිය ඉස්මතු වීමේ ප්‍රවණතාවක් පැන නැඟුණු බවට ද චෝදනා එල්ල විය. ඊට පෙරාතුව හා සමකාලීනව කාව්‍යකරණයේ නියැලි ජී. බී. සේනානායක, සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර සමඟ සසඳන කල්හි සේකරගේ කාව්‍ය ක්‍රමයෙන් ප්‍රචාරණය වූ හෘදයග්‍රාහී, භාවාතිශය ස්වරූපය පසුකාලීන ආධුනික කවීන්ට ද තෝතැන්නක් ලෙස පෙනෙද්දී ඔවුහු පෙර කී කවීන්ගේ සංකීර්ණ කියැවීම් මඟහැර සරල යැයි වැරදියට වටහාගත් මේ කෙරෙහි ආකර්ෂණය වූහ.

එහෙත් මෙහිලා අවධාරණය කළ හැක්කේ ජනකවි හැරුනු විට සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම විදේශීය කාව්‍ය නිර්මාණවලින් ද ආභාසය ලබමින් කවියා ප්‍රබල අත්හදාබැලීම්හි නිරතව ඇති බවයි. මෙහි මුල් පියවර වශයෙන් සමකාලීන සමාජයේ සංකීර්ණත්වය ගවේෂණය කරන “මක්නිසාද යත්” කෘතිය වැදගත් වේ. නූතන සංකීර්ණ නාගරික සමාජයේ සුලබ අංගෝපාංග වශයෙන් හඳුනාගත හැකි කන්තෝරු, දුම්රිය පොළ, මුඩුක්කු හා රෝහල් අතරින් ගමන් ගන්නා නමක් නොමැති නාගරික මධ්‍යම පාන්තික කථකයකුගේ හඬින් ජීවන අසන්තුෂ්ටිය හෙළි කිරීමක් මෙහි දී දක්නට ලැබේ. සමස්තාර්ථයෙන් ගත්කල “මක්නිසාද යත්” කෘතියෙහි පැහැදිලි කාව්‍ය ආඛ්‍යානයක් අන්තර්ගත නොවේ. එකම අවුල් ජාලාවක් ලෙසට දිස්වන නූතන පසුබිම කෙරෙන් පටිපාටිගත සමාජ සැලැස්මක් හෝ පිරිපුන් මිනිස් ආත්ම හඳුනා ගත නොහැකි බව සත්‍යයකි. සාම්ප්‍රදායික නිශ්චායක මත ගොඩනැඟුණු සරල දිවිපෙවතකට උරුමකම් කියූ පුද්ගල සමාජය සමඟ සසඳන කල්හි නවීන මිනිසාගේ ජීවිතය කේන්ද්‍රීය දෘෂ්ටියෙන් තොරව කඩකඩව විසිරී යන්නකි. එහෙයින් කවියාට සිදු වී ඇත්තේ කැඩී බිඳී විසිරුණු සංකල්පනා රාශියක් එකට පිරිද්දීමට ය. සුපැහැදිලි කාව්‍ය ආඛ්‍යානයක් ගොඩනැඟී නැති, ටී. එස්. එලියට්ගේ නිසරු බිම (The Was te Land) කාව්‍යය මඟින් ද විශද වන්නේ මෙකී යථාර්ථය යි. එමඟින් නිරූපණය කෙරෙන්නේ ශුෂ්ක බිම්කඩක් වන් නූතන සමාජයේ සංකීර්ණත්වය අතරින් ආධ්‍යාත්මික හරය සොයා කෙරන ප්‍රයානයකි. මක්නිසාද යත් කෘතිය මඟින් ද සේකර යම් පමණකින් හෝ වෑයම් කරන්නේ එබඳු කර්තව්‍යයක නියැලීමටයි. තත් කාව්‍ය ග්‍රන්ථ ද්වය ම නිර්මාණය වී ඇත්තේ නූතන සමාජ පරිස්ථිතියේ වියවුල ප්‍රදර්ශන කරන ආකාරයෙනි. එය කෙරෙන්නේ පැහැදිළි ආඛ්‍යානයක් විශද නොවන පරිදි නිර්මාණය කෙරුණු කාව්‍යෝක්ති සමුදායකිනි. එලියට්ගේ කාව්‍යයේ සමාජ යථාර්ථය විවරණය වඩාත් පුළුල් පරාසයක් කරා විහිදී යතත්, සේකරගේ “මක්නිසාද යත්” “රාජතිලක ලයනල් හා ප්‍රියන්ත” යන කාව්‍ය මෙන් ම “නොමියෙමි” හා “ප්‍රබුද්ධ” යනාදි ආඛ්‍යානරූපී කාව්‍ය ද යම් යම් ලක්‍ෂණවලින් නිසරු බිම කෘතියේ ආකෘතියට අනුරූපීව නිර්මාණය වී ඇති බව හඳුනාගැනීමට පුළුවන. සේකර සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙන් ප්‍රබල ආභාසයක් ලැබූ කවියෙකි. එහි දී ඍජු ව ම සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවලින් ආභාසය ලැබීමේ සුලබ තත්ත්වය අතික්‍රමණය කරමින් ඒ හා සමඟ සංකීර්ණ ආකාරයේ අපූර්ව නිර්මාණාත්මක සබැඳියාවක් පවත්වා ගැනීමට දැරූ වෑයම හඳුනාගත හැකි ය. විශේෂයෙන්ම සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල පැනෙන යෙදුම් උත්ප්‍රාසාත්මක අයුරින්, කාව්‍ය රසය තීව්‍ර කරවන පරිද්දෙන් යොදා ගැනීම හේතුවෙන් සේකරගේ කවීත්වය ඔප් නැංවී පෙනේ. එය කවියා නූතනවාදී කාව්‍ය නිර්මාණවලින් ලැබූ ආභාසය ප්‍රදර්ශනය කරන ලක්‍ෂණයකි. එලියට් නිසරු බිම කාව්‍යයෙහි තේමිස් නදිය පිළිබඳ ව සඳහන් කෙරන ආකාරය ඒ සඳහා මනා නිදසුනකි. එහි දී ස්පෙන්සර් නමැති කවියා තේම්ස් නදියේ සුන්දරත්වය වර්ණනා කිරීමට යොදා ගත් කාව්‍යොක්තියක් වර්තමාන තත්ත්වය හා සම්බන්ධ කරමින් උත්ප්‍රසාත්මක ව යෙදීමට එලියට් උත්සුක වේ. සේකර ද පැහැදිලිවම මෙම කාව්‍ය උපක්‍රමය අනුගමනය කරයි. ඔහු “මක්නිසාද යත්” කෘතියෙහි දී ගම ගැන කරන වර්ණනය එබන්දකි.

පාවෙන මල් රොන් කැටියේ
බාල ලියන් මුව පියුමන් පිපෙනා
බාල ලියන් දිගු නිලුපුල් නයනා
බාල ලියන් කොඳ දසුනින් හොබනා
අවට සුපිපි සපු දුනුකේ සලලාන
හැඬුව තැනින් තැන විලුකුලු කිරලාන ගම!


ගම හීනෙන් දැක ගම ගැන හඬන්නේ
ගමට ගොහින් ගම හැබහින් බල
හීනෙන් තොප දක්නා
චමත්කාරයක් එහි නැත…

සැළලිහිණි සන්දේශය ආදි සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථවලින් ගමෙහි අසිරිය, මනබන්දනීය සුන්දරත්වය විදහා දක්වන කාව්‍යෝක්ති හා පද්‍ය පාඨ උපුටා දක්වන කවියා එකී සොඳුරු ගම් සැබැවින්ම වර්තමානයෙහි දක්නට නොලැබෙන අයුරු පෙන්වා දෙනේනේ උත්ප්‍රාසාත්මක අයුරිනි. එහිදී සේකර, අතීත ගමෙහි සෞන්දර්ය මනහර ලෙස වර්ණනා කිරීමට යොදා ගත් කාව්‍යෝක්ති වර්තමානය හා සම්බන්ධ කරන්නේ තීව්‍ර අයුරින් සන්සන්දනාත්මකව නූතන ගමේ සැබෑ ස්වරූපය අවධාරණය කරමිනි. ‘හෙට ඉරක් පායයි’කෘතියෙහි පැනෙන නිර්මාණයන්හි අක්‍ෂර යෙදීමේදී දෘශ්‍ය රූප කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇති බව පෙනීයයි. එහෙයින් සේකර ජන කවියකු හෝ ගැමි කවියකු ලෙසට ඌනනය කිරීමට පෙරාතුව කාව්‍යකරණය හා සබැඳි පුළුල් හැදෑරීම් හඳුනාගනු පිණිස, ආචාර්ය උපාධියද පිරිනැමී ඇති ඔහුගේ සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ කෘතියවත් කියවීම වැදගත් බව පවසනු රිසියෙමි.

කථිකාචාරිණී  චින්තා පවිත්‍රානි

කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT