මහගම සේකර යනු කවරෙක්ද ?මෙම ප්‍රශ්නයට පාරභෞතික ප්‍රවේශයකින් පිළිතුරු දෙන්නේ නම් ඉතා සංක්ෂිප්තව සේකර රොමැන්තික යථාර්ථවාදියකු ලෙස හඳුන්වන්න මට හිතෙනවා. එහෙත් පොදුවේ රොමැන්තිකවාදය සහ යථාර්ථවාදය යනු එකක් නොව දෙකක්.
රොමැන්තිකවාදය මූලික වශයෙන් හැඟීම් පදනම් කරගෙන අර්ථ නිරූපණය වන සම්ප්‍රදායක් වන අතර යථාර්ථවාදය පවතින භෞතික කරුණු මත පදනම්ව අර්ථ නිරුපණය වන සම්ප්‍රදායක් ලෙස සරලව දක්වන්න පුළුවන්. එසේ නම් කිසියම් නිර්මාණකරුවකු රොමැන්තික යථාර්ථවාදියකු ලෙස හැඳින්විය හැකිද ?
“අතීතයේ ගඟ ගලා බසී
සිඳී බිඳී ගල්පර අතරේ
සිනාසිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී ගඟ ගලා බසී”
සේකර ලියු ගී සැලකීමේ දී, මෙරට ගීත සාහිත්‍යයේ රොමැන්තික ගී අතර සදා නොමැකෙන ගීත සමූහයක් ඔහු ලියා තියෙනවා. ප්‍රේම ගීත ඒ අතර බහුලයි.
“ මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
සිහින් හඬින් මට කියාවී
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි”
සේකරගේ රොමැන්තික ප්‍රේමය බොහෝ විට පරිසරය සහ ගම සමඟ බද්ධ වී තියෙනවා.
‘‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වසින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා”
සේකර ලියන මේ ප්‍රේමය හා ගම ඔහු විසින් අලුතින් තනා ගත් රොමැන්තික දෙයක් නෙවෙයි. එවැනි ගමක් හා එවැනි ප්‍රේමයක් සේකරලා අත්දුටු අත්දකිම් ය. ඒ අත්දැකීම් සහිත සමාජය දේශපාලනිකව වර නඟන්නේ නම් එය මෙරට ධනවාදයයේ පුර්ව සමාජ යුගය යි. සේකර ජීවත් වන්නේ හා නිර්මාණකරණයේ යෙදෙන්නේ ඒ යුගයේ දේශපාලනික පරිවර්තන අතර සංක්‍රමණීය යුගයක යි.
මෙම සමාජ හා දේශපාලනික පරිවර්තනයන් සේකරට දැනෙන්නේ කෙසේද?
ඔහුගේ තුංමංහංදිය (1967) හා මනෝ මන්දිර (1971) සංසන්දනයෙන් එයට මුලික ප්‍රවේශයක් ලැබෙනවා.
තුංමංහංදිය නවකථාවේ මෙසේ සඳහන්.
“මෙතැනින් පාරවල් තුන් අතකට විහිදී යයි. එක් පාරක් ආපහු ගෙදරට යන පාර ය. අනෙක් පාරේ ගියොත් ගම්පහට යෑමට මට පුළුවන. .පොඩි මාමා යෝජනා කළේ මා ගම්පහ ලෝරන්ස් විද්‍යාලයට යවා ඉංග්‍රීසි ඉගැන්වීමටය…තුන්වන පාර දිගේ කාර්මික විද්‍යාලයට යාමට බස්රිය එනතුරු මම මෙතනට වී බලා සිටිමි..ලොකු මාමාට උවමනා කළේ මා හොඳ සිත්තරෙකු කිරීමටය. හරියන්නට හෝ වරදින්නට මා යන්නේ ලොකු මාමා ගිය අඩිපාරේය. ”
තුංමංහංදිය නවකතාවේ කතානායකයා වන සිරිසේනගේ “ඇන්ටි හීරෝ” වන්නේ ලොකු මාමා ය. ලොකු මාමා ද සේකර මෙන්ම රොමැන්තික මිනිසෙකි.
ලොකු මාමා ගේ සිහිනය වෙනුවෙන් නගරයට එන සිරිසේන ට නගරයේ දී හමුවන්නේ රදාවාන මෙන් රොමැන්තික ගමක් නොවේ. එහිදී ඔහු අත්විඳින සමාජයද, ලොකු මාමලා ගේ සමාජය නොවෙයි. අනෙක් අතට හමුවන්නේ‘‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නටන” වටපිටාවක් නොව වානිජකරණයට හා නාගරීකරණයට ලක්වූ කොන්ක්‍රීට් කාන්තාරයක්.
මේ සමාජ පරිවර්තනය සේකර ගේ දෙවන නවකතාව වන මනෝ මන්දිර සඳහා විෂය වෙයි.
වානිජකරණය වූ සමාජයක එම ප්‍රවාහයේ ගොදුරක් බවට පත්වන හෝ එයට ප්‍රතිවිරුද්ධව පිහිනන්නට සිදුවන සමාජ සත්වයාගේ ඛේදනීය ඉරණමට මෙහිදී සිරිසේනට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ වානිජ සමාජයේ “හීරෝලා” වන්නේ පොඩි මාමලා මිස ලොකු මාමලා නොවේ.
එක් අතකට රදාවානෙන් කොළඹට සංක්‍රමණය වන්නට සිදුවූ සේකරට ද මුහුණ දෙන්න සිදුවුණේ සිරිසේනට මුහුණ දෙන්න සිදුවූ අත්දැකීම්ම වෙන්නට ඇති.
“දිස්විය ඔහු නෙතට
කුරා කුහුඹුූන් ලෙසට
පඩංගු – පකිස් ලෑලි
ටිං බෙලෙක්ක තහඩු ගෝනි
අස්සෙන් එබී බලන
මුඩුක්කු දහජරාව පැටව් ගැසුව
වැරහිලි කාලකන්ණි මිනිස් ප්‍රාණ
දුගඳ පිරුණු කාණු දිගට”
සේකර ගේ බෝඩිම ( 1970)නොමියෙම් (1973) හා ප්‍රබුද්ධ ( 1977) කාව්‍ය සංග්‍රහ පුරා දක්නට ඇත්තේ මෙම සමාජය වෙත ඔහු හෙළන යථාර්ථවාදී දෘෂ්ටිය යි. රොමැන්තික සේකර නිර්මාණකරුවෙක් ලෙස මෙහිදී සම්පුර්ණ වෙනස් ප්‍රවේශයක් ගන්නවා. ඔහුගේ නිර්මාණ භාෂාව හා ආකෘතිය පවා සම්පූර්ණ පරිවර්තනයකට ලක්වෙනවා. ඔහු මෙහිදී වඩාත් යොමු වන්නේ සමාජ යථාර්ථවාදී රීතියකට ය.
හැත්තෑ ගණං මුල සේකර ගේ සමකාලීන සමාජ හා දේශපාලනික සංවේදී නිර්මාණකරුවන් ජනතාවාදී කලා භාවිතයේ ලක්ෂණ පෙන්නුම් කරද්දී, සේකර පෙන්නුම් කර ඇත්තේ වඩා විකල්ප සමාජ යථාර්ථවාදී ප්‍රවේශයක් වීම විශේෂත්වයක්.
“ධර්මේ
කාසිම්
රාජසුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතුවෙලා
මේ ලෝකය
යහපත් තැනක් කරමු මිට වැඩිය”
***************************
නොමියෙන සේකර!
ලංකාවේ කලාව, සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ නම් දැරූ මිනිසුන් කියැවීම යම් යම් ගුරු කුල, දේශපාලනික හෝ විවිධ කල්ලි කණ්ඩායම් වලට අනන්‍ය උප සංස්කෘතික ලක්ෂණවලින් ගහණ වූ අවස්ථාවන් නැතුවා නොවේ.
එසේත් නොමැති නම් බුද්ධිමය සම්ප්‍රදායන් හෝ පංති පසුබිම් කාරණාවන් හෝ පෙරට ආ අවස්ථවන් සුලබ ය. එහෙත් මහගමසේකර යනු සමාජයේ පහළ ස්ථරයන්ගේ සිට ඉහළටම අවධානයට ලක් වූ මඟහැර යා නොහැකි වූ කවියෙකි. නවකතාකරුවෙකි.සිත්තරෙකි. පරිවර්තකයෙකි. සිනමාකරුවෙකි. ‘නොමියෙමි’යි ලියූ ඔහු අදටත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අප අතර සැරිසරමින් තමා ගේ පෑන් තුඩින් ලියැවුණු එකී වදන යථාවක් බව පසක් කරවයි.
ඉහළ නිසසල කඳු මුදුන් මත
සුදු වලාකුළු දිය වෙලා
පහළ මිහිදුම් දුහුල් පටලින්
පෙරී පොළොවට වැගිරිලා
නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ
වාණිජකරණය උදාවන සමාජයක සමාජ චිත්තය වසා පැතිර යන බුර්ෂුවා චින්තනය ස්වාර්ථ සාධනය පරදවා මනුෂ්‍යභාවයේ විශිෂ්ඨකම රැකගන්නට නම් ‘පොදු යහපත’ පිළිබඳ කරුණු දිගින් දිගටම සමාජ දේශපාලන කතිකාව මැදට ගෙන ආ යුතු බව සේකර තම කවියෙන් මතු කළා.
-ආචාර්ය කුමුදු කුසුම් කුමාර