සිරිත් පරිදි ඔහු වරිපනම් බදු එකතු කිරීමට එදා ද නිවෙසින් ගියේ ඉතා සන්තෝෂයෙනි. නිවෙසින් නිවෙසට යමින් සිටි හේ දහවල් ආහාර වේල ගැනීමට ආසන්න නිසා කඩිනමින් තවත් නිවාස කිහිපයක බදු එකතු කර ගැනීමේ අටියෙන් කරාපිටිය නගර ආසන්න මාවතකට ගියේ එම නිවැසියන් ඒ අවස්ථාවේදී නිවෙස්වල සිටින නිසාත්, ඔවුන් යම් වැදගත්කමක් ඇති පිරිසක් නිසාත්ය.
නිවාස දෙක තුනකට ගොස් ආපසු එමින් සිටිය දී එහි එක් නිවෙසක සිටි මැදි වයසේ මහත්මයෙක් ගේට්ටුව ළඟට විත් ඔහුට අතවනා අඬ ගැසුවේය.
හේ අපමණ සතුටට පත්විය. තමාට අතවනා කතා කළ ඒ නිවැසියා වරිපනම් බදු ගෙවීම පැහැර හැරීම සිරිතක් කොට ගෙන සිටි වැදගත් රැකියාවක නිරත අයකු වන අතර, මේ අඬ ගසන්නේ අදවත් වරිපනම් ටික ගෙවන්නට වන්නට ඇතැයි ඔහු සිතීය.
කතානායකයා වහ වහා එම නිවැසියාගේ ගේට්ටුව හැරගෙන වත්තට ගියේය.
‘මහත්තයා නගර සභාවෙන් නේද?’ ගෙවත්තේ සිට අතවැනූ මහත්තමයා ඔහුගෙන් ඇසුවේය.
‘ඔව් මහත්මයා මම තමයි මේ පැත්තෙත් වරිපනම් එකතු කරන්නේ’ සිනා සලමින් ඔහු වහා පිළිතුරු දුන්නේය.
‘මහත්තයා මේ ගෙදර නම් වරිපනම් බදු ගෙවලම නැති බව තමා පේන්න තියෙන්නේ.’ ඔහු වැඩි වැඩියෙන් යමක් ඔහුට කීවේය.
‘එන්න, එන්න, මහත්තයා ඔහොම්ම ගෙට ගොඩවෙලා යමුකෝ එහෙනම්’ යැයි කියමින් ඒ නිවෙස් හිමියා ගෙතුළට යද්දී ඔහු ද එම නිවෙසේ දොරකඩටම ගියේය.
දොරකඩ අසලට යද්දී ඔහුගේ ඇස් එකවරම ගියේ නිවෙසේ ඉදිරිපිට තිබූ සරුසාරව පල දරා තිබූ අලිගැට පේර ගස දෙසටයි.
අලිගැට පේර ගහෙන් ඇස් ඉවතට ගත් ඔහු නිවෙසේ අංකය බලා හිඟ වරිපනම් ගාස්තුව සොයා ගනිද්දී නිවෙස් හිමියා ද දොරකඩ ළඟටම ආවේය.
‘ගාණ කීයද?’ නිවෙස් හිමියා ඇසුවේය.
‘මහත්මයා, හිඟ ඒවත් එක්කම රුපියල් 3247යි’ ඔහු කීවේය.
‘හා හොඳයි ඉන්න මං සල්ලි ගේන්නම්’ නිවෙස් හිමියා ගේ ඇතුළට ගියේය. වරිපනම් නිලධාරියා වරිපනම් පොත අතට ගත්තේ ‘යන්තම් ඇති අදවත් සල්ලි ටික දෙයි’ යැයි සිතමිනි.
සුළු මොහොතකින් නිවෙස් හිමියා මුදල් රැගෙන විත් ඔහු අතට දී ඔහුගෙන් රිසිට් පත ද ගත්තේය.
ඉහේ මල් පිපී තිබූ වරිපනම් නිලධාරියා මුදල් ද රැගෙන ආපසු හැරුණි.
‘මහත්මයා ටිකක් ඔහොම හිටියා නම්’ එසේ කියමින් නිවෙස් හිමියා ආපසු හැරී නිවෙස තුළට ගියේය. එසැණින් නැවත එතැනට ආ නිවෙස් හිමියා, කළු පාට ලොකු සොපින් බෑගයක් ද අතැතිව ඔහුගේ ඉදිරියේ පෙනී සිටියේය.
‘ආ මහත්මයා, මේකත් අරගෙනම යන්න’ යැයි කියා කළු පාට බෑගය ඔහුගේ අතට දුන්නේය.
‘ෂුවර් එකටම මේ තියෙන්නේ අලිගැට පේර වෙන්න ඕන’ බරට බරේ තිබූ උරය දෑතින් බදා ගනිමින් ඔහු එසේ සිතුවේය.
‘ආ මහත්තයා නැතුවට කමක් නෑ. ඉතිං කමක් නෑ එක්කෝ බොහෝම ස්තූතියි, ගිහින් එන්නම්කෝ’ යැයි කියා උරය ද ගෙන ඔහු නිවෙසේ ගේට්ටුවෙන් එළියට ආවේය.
මේ තරම් බරට බරේ ඇති බෑගය දෙස නෙත් හෙළූ ඔහුට එතුළින් කුණු ගඳක් වහනය වනු දැනෙන්නට වූයේ මේ අතරවාරයේය. අරින්නට තිබූ මල්ල ඔබන්නේ මොකට දැයි සිතූ ඔහු එය හෙමිහිට ඇර බැලීය.
එහි තිබුණේ අලිගැට පේර නොව දින දෙක තුනක් එකතු කර නරක් වී තිබු කුණු ගොඩකි. වරිපනම් නිලධාරියාට යකා නැග්ගේය. හේ යළි ආපසු හැරි ‘මහත්මයා ටිකක් ඔය අර මං දීපු රිසිට් එක ගේන්න’ යැයි මහ හඬින් කීවේ එවිට ගේට්ටුව අසල සිට බලා සිටි ගෙහිමියාට ඇසෙන්නටයි.
ගෙහිමියා අතේ රුවාගෙන සිටි රිසිට් පත රැගෙන විත් නිලධාරියා අත තැබුවේය.
ගෙහිමියාගෙන් රිසිට් පත උදුරා ගත් ඔහු එය අවලංගු කිරීම සඳහා ලොකු ඉරක් ඇන්දේය.
‘ආ… මෙන්න ඔහේ දුන්න සල්ලි ටික. මම නගර සභාවේ කසළ ගෙන යන වාහනය කියලා හිතුව ද තමුන්. මම වරිපනම් බදු එකතු කරන්නා තේරුණාද’ යනුවෙන් ගෙහිමියාගේ ඇඟට කඩා පනිමින් ඔහුගෙන් ගත් මුදල අතට ගෙන මූණට දමා ගැසුවේය.
කිසිත් ගාණකට නොගත් නිවෙස් හිමියා, ‘නෑ හලෝ, දවස් ගණනකින් මෙහේ කුණු අරන් ගියේ නෑ. ඉතින් ඔහේවත් මේක ගෙනියන්න එපායැ’ කියා කෑගැසීය.
‘ඔව්, එක ඇත්ත නගර සභාවෙන් කුණු ගෙනි යන්න ඕනෙ. හැබැයි ඔබතුමා වරිපනම් ගෙවන්නත් ඕනෙ’ යැයි කියූ නිලධාරියා, ‘ඔයිට වඩා හොඳ කොන්දොස්තර මහත්තයලත් ඉන්නවායි’ කියමින් ගෙට්ටුව ද තදින් වසා පාරට ආවේ නිවෙස් හිමියාගේ මවුපියන් ද සිහි කරමිනි.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ