වාරියපොළ මැතිවරණ කොට්ඨාසයට අයත් රන්දෙණිය, තල්ගමුව ගම්මානය සහ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයට අයත් මින්හෙට්ටිය, ගලගෙදර යන ගම්මාන දෙක යා කිරීම සඳහා මගුරුඔය හරහා පාලමක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කළත් එය අතර මඟ නැවතීම නිසා අපහසුතාවට පත්වී ඇති බව ගම්මානවල පදිංචිකරුවෝ පවසති.
මෙම ගම්මානය යාකිරීම සඳහා මගුරුඔය හරහා පාලමක් ඉදිකිරීම මෙයට වසර 28කට පෙර එනම් 1996 දෙසැම්බර් 18 වැනිදා සුබ මොහොතින් ආරම්භ කළ බව එහි ඇති සිහිවටන පුවරුවේ සඳහන් වේ.
මේ සම්බන්ධව අදහස් දක්වන බී.කේ. සමරසිංහ මහතා,
“ගම්මාන හතරේ අයගේ අවශ්‍යතාවය නිසා කරන ලද ඉල්ලීමක් මත පාලමට මුල්ගල තැබුවේ එවකට පැවැති වයඹ පළාත් සභාවේ මහ ඇමැතිව කටයුතු කළ අදවන විට ජීවතුන් අතර නොමැති නිමල් බණ්ඩාර මහතායි. කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගොඩිගමුව මහතා ද එයට මුල්වුණා. පාලම සෑදීම සඳහා කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පූර්ණ සහාය ලැබුණා. පාලමේ එක් පැත්තක බැම්ම බැන්දා. අනික් පැත්ත බැන්දේ නැහැ. පාලමේ වැඩ කටයුතු අතර මඟ නැවතුණා. ආයේ වැඩ පටන් ගත්තේ නැහැ. ඔය ආසන්නයේ ඇති ගලගෙදර ගම්මානයේ අවසාන නිෙවස දක්වා කුරුණෑගල ප්‍රාදේශීය සභාවෙන් පාර සකස් කර තියෙනවා. මෙගොඩ කොටස අයිති වාරියපොළ ප්‍රාදේශීය සභාවට එම කොටස හදලා නැහැ.”
හසිත මධුසංඛ මහතා,
“දැදුරුඔය ජලාශය බැන්දාට පසු මගුරුඔයේ ජලය නිතරම වැඩි වෙනවා. ඔයෙන් මෙගොඩ සිටින අපි ජලය අඩු දිනවල ඔයෙන් බැහැලා පාලමේ බැම්ම ළඟින් තමයි කුරුණෑගල යන්න එගොඩ වෙන්නේ. අද වනවිට එතන වළක් හෑරිලා. ඒනිසා එතනින් ජලය වැඩි දවස්වල එගොඩ වෙන්න අපහසුයි. ඒ දවස්වලට පහළ ඇති ගල්තලාව දිගේ ගොස් පුද්ගලික වත්තකින් ගම්මාන පාරට ගොඩවෙනවා.
ලොකු පාලමක් හදන්න අපහසුනම් අපට කුඩා පාලමක් හදලා දෙන්න. පසුගිය වසර ගණනාවකම පැවති මැතිවරණ කාලයේදී දේශපාලනයේ නියුතු අයගේ එකම මාතෘකාව පාලම හදලා දීමයි. දැනට වසර 28ක් තිස්සේ අපට සිදුවෙලා තියෙන්නේ ඉදිකිරීමට සැලසුම් කළ පාලමේ බැම්ම දිහා බලාගෙන සිටීම විතරයි.”
කටුපොත විශේෂ – බී.ඒ.එන්. ශාන්ත කුමාර